ලෝකයේ සහ ලංකාවේ ප්‍රථමාධාර සම්බන්ධ ආයතන

ආයුබෝවන් ! කොහොමද හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා නේද? ප්‍රථමාධාර ගැන දැනගන්න, ඉගෙන ගන්න ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න නිසා ම, අපි හිතුවා වැඩිය පරක්කු නොකර ඉක්මනටම අපේ දෙවෙනි ලිපියත් පළ කරන්න. කලින් ලිපිය අවසානයේ සඳහන් කළා වගේම, මේ ලිපියෙන් අපි අද කතා කරන්නෙ ප්‍රථමාධාර කියන විෂය සම්බන්ධව ලෝකයේ සහ ලංකාවේ ප්‍රවීණත්වය ලබාගත් ආයතන පිළිබඳව.

ප්‍රථමාධාර සම්බන්ධ ආයතන


ප්‍රථමාධාර කියලා කියන්නෙ බොහොම පුළුල් විෂයයක්. අපේ ශරීරය වැඩ කරන හැටි, එක් එක් අවයව, පද්ධතීන් වල ක්‍රියාකාරිත්වය ගැන වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම්, නිර්දේශ අනුව තමයි ප්‍රථමාධාරයේ එන බොහොමයක් සංකල්ප නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් ලෝකයේ ප්‍රථමාධාර සම්බන්ධයෙන් නම් දැරූ ප්‍රධාන ආයතන 3ක් අපිට හඳුනාගන්න පුළුවන්. (තවත් තියෙනවා. නමුත් මේ ආයතන 3 බොහොම පළපුරුදු, නිවැරදිව දැනුම බෙදා දෙන, ලෝකයම පිලිගත්ත, වගකිව යුතු ආයතන 3ක්)

  • රතු කුරුස සමාජය
  • ශාන්ත ජෝන් ගිලන් රථ සේවය
  • ශාන්ත ඇන්ඩෘ ගිලන් රථ සේවය
ඔයාලා අහල තියෙනවද "First Aid Manual" කියල පොතක් ගැන? මේ පොත තමයි බ්‍රිතාන්‍යයේ ප්‍රථම සහ එකම සම්පූර්ණ අනුමැතිය ලත් ප්‍රථමාධාර අත් පොත. ක්ලාන්තයක් වගේ අවස්ථාවක ඉඳන් හෘදයාබාධ, ස්වසනය ඇණ හිටීම වැනි සංකීර්ණ වෛද්‍යමය හදිසි අවස්ථා දක්වා ප්‍රථමාධාරකරුවෙක් දැන සිටිය යුතු සියළුම කරුණු මේ පොතේ බොහොම විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒත් එක්කම කලින් කලට එන නව ප්‍රවණතා, සොයාගැනීම් එක්ක මේ පොතත් යාවත්කාලීන වෙනවා. මේ පොතේ අළුත්ම මුද්‍රණය "First Aid Manual - 10th Edition" ලෙසින් 2014 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් වුණා. මෙන්න මේ අත්පොත සම්පාදනය කරන්නෙත් අර ඉහළින් සඳහන් වෙන ආයතන 3 එකතු වෙලා. ඒ නිසා මේ පොතේ සඳහන් වෙන හැම කරුණක් ගැනම ඒ ආයතන 3 වග කියනවා.  ඔන්න ඔයාලගෙ දැනගැනීම වෙනුවෙන් මම ඒ අත්පොතේ පිට කවරයේ ෆොටෝ එකක් දැම්මා.

First Aid Manual - 10th Edition
 අවශ්‍ය නම් ඔබට මේ පොත ඇමරිකානු ඩොලර් 13 ක් වගේ මිලකට මිලදී ගන්නත් පුළුවන්. ලංකාවේ පොත් සාප්පු වල මේ පොත හොයාගන්න නම් ටිකක් අමාරු වෙයි. නමුත් කොළඹ ප්‍රධාන පොත් සාප්පු වලින් අහල බැලුවොත් සමහර විට හොයාගන්න බැරි වෙන එකකුත් නෑ. ලෝකයේ වගේම ලංකාවෙත් ප්‍රථමාධාර සම්බන්ධ නම ගිය ආයතන තමන්ගේ අත්පොත විදිහට පාවිච්චි කරන්නෙ මේ පොත. ඒ වගේම අපි මේ "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" ලිපි පෙළ සම්පාදනය කරන්නෙත් මේ පොත අනුසාරයෙන්. හැබැයි වරදවා වටහාගන්න එපා මේ ලිපි පෙලේ තියෙන්නෙ අර පොතේ සිංහල පරිවර්තනය කියල නම්. මේ ලිපි පෙල සැකසෙන්නෙ ප්‍රථමාධාර ක්ෂේත්‍රය තුල අපේ දැනුම සහ අත්දැකීම් පාදක කරගෙන.  ඉදිරි කාලයේ පළවෙන ලිපි කියවගෙන යද්දි ඔයාලට ඒක තේරෙයි.

ලෝකයේ ප්‍රථමාධාර සම්බන්ධයෙන් පිළිගත් ආයතන ගැන දැන් ඔයාල දන්නවනේ. ලංකාවේ ඒ සම්බන්ධ ආයතන ගැනත් දැනගෙන ඉන්න එක ඔයාලට ප්‍රයෝජනවත් වේවි.

ප්‍රථමාධාර සම්බන්ධයෙන් ලංකාවේ තියෙන ආයතන


ප්‍රථමාධාර සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිහිපයක්ම ලංකාවේ තිබුණත්, මෙන්න මේ ආයතන තුන තමයි ඒ අතරින් ඉහළින්ම ඉන්නේ.

  • ශ්‍රී ලංකා රතු කුරුස සමාජය
  • ශාන්ත ජෝන් ගිලන් රථ සේවය
  • සෞඛ්‍යදාන ව්‍යාපාරය
මේ අතරිනුත් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔයාලට බොහොම ලේසියෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් ආයතනයක්. අපේ රටේ හැම දිස්ත්‍රික්කයකම රතු කුරුස සමාජයේ ශාඛාවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒත් එක්කම බොහොම පළපුරුදු, සුදුසුකම් ඇති උපදේශකවරු ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ඉන්නවා. අනික් ආයතන හොඳ නෑ කියනවා නෙමෙයි. එයාලත් රටේ විශ්වාසය දිනාගත්, පිළිගත් ආයතන. නමුත් අපේ මේ ලිපි මාලාවට සම්බන්ධ වෙලා ඉන්න උපදේශක මඩුල්ල නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය නිසා, අනිත් ආයතන එක්ක සංසන්දනය කරන එක සදාචාර සම්පන්න නෑ කියලයි මට හිතෙන්නෙ. කොහොම වුනත්, ප්‍රථමාධාර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක්ට මේ ආයතන තුනෙන් ඕනම එකකට ගිහින් වැඩිදුර උදව් ලබා ගන්න පුළුවන්. 

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ක්‍රියාත්මක කරන ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් ප්‍රධාන වශයෙන් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • මූලික ප්‍රථමාධාර පාඨමාලාව - දින 3 යි
  • උසස් ප්‍රථමාධාර පාඨමාලාව - දින 5 යි
  • වාණිජමය ප්‍රථමාධාර පාඨමාලා - එක් දින/ දෙ දින/ තෙ දින
මේ වාණිජමය ප්‍රථමාධාර පාඨමාලා කියන්නෙ මූලික වශයෙන්ම කර්මාන්ත ශාලා, වැඩ බිම් වගේ තැන්වල සිදුවන අනතුරු අවම කර ගැනීම වගේම ඒ වගේ තැනක වැඩ කරන අය දැන සිටිය යුතු ම ප්‍රථමාධාර ගැන සැකසුණු වැඩසටහනක්.

ඉතින් ඔබටත් ප්‍රථමාධාර සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාගන්න අවශ්‍ය නම්, ඉහත සඳහන් ආයතන වලින් ඔබේ අවශ්‍යතාව සපුරගන්න පුළුවන්. ඔයාලගේ පහසුව වෙනුවෙන් රතු කුරුස සමාජයේ ශාඛා ජාලයේ තොරතුරු ලබාගන්න පුළුවන් LINK එකක් මම පහල දාලා තියෙනවා.


එහෙනම් අදට සමුගන්නයි සූදානම. අපේ ඊළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රථමාධාර යනු කුමක්ද? ප්‍රථමාධාරකරුවෙක්ගෙ වගකීම් මොනවාද කියන කාරණා ගැන.

එතෙක් අපි හුඟාක් ආසාවෙන් බලන් ඉන්නවා මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස් දැනගන්න. ඔබේ ප්‍රතිචාර තමයි අපිව ශක්තිමත් කරන්නේ. කවුරුත් බලන්නෙ නැත්තන් අපි මෙහෙම බෙල්ල කඩාගෙන ලියන එකේ තේරුමක් නෑනෙ නේද? Comment එකක් දාලා යන්නත්, මේ ලිපි පෙළ යාළුවෝ අතරේ share කරන්නත් අමතක කරන්න එපා.

Comments

  1. මම අද තමා මේ ලිපි දැක්කෙ ගොඩක් වටිනවා

    ReplyDelete
  2. ගොඩාක් වැදගත්. මෙ සම්බන්දයෙන් අද්‍යාපනය ලැබිමට උනන්දුවෙන් සිටි මට ආයතනයක් හොයාගන්න බැදුව හිටියෙ. ලංකාවේ ලියාපදිංචි ප්‍රතමාධාරකරුවකු විය හැකිද. එසෙනම් කොහොමද

    ReplyDelete
  3. අනේ සාන්ත ජෝන්ස් ගිලන් රථ සේවය ගැන තොරතුරු දෙන්නකෝ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support