ද්විතියික විනිශ්චය - Secondary Survey

ආයුබෝවන් ! හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. විවිධ මාතෘකා පිළිබඳව විවිධ ආකාරයෙන් කතා බහට ලක්වෙන වෙබ් අවකාශයේ තියෙන වෙබ් අඩවි, බ්ලොග් අඩවි දහස් ගාණක් අතරේ අපේ මේ බ්ලොග් එක ටිකක් විශේෂයි. මේකෙන් අපි අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි නෙමෙයි කියල දෙන්නෙ. ව්‍යාපාරයක් පටන් ගන්න හැටි වත්, මාර්කටින් කරන හැටි ගැනවත් නෙමෙයි ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නෙ. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපේ බ්ලොග් එකට එච්චර ප්‍රතිචාර නැත්තෙත්. ඇයි ඉතින් මේක බැලුවා කියල සාක්කුවට කීයක්වත් වැටෙන්නෙ නෑනෙ. වෙන මොන මොනවාහරි සිංහලෙන් තියෙන බ්ලොග් අඩවි හොය හොයා යන අතරේ අහම්බෙන්වත් අපේ බ්ලොග් එක දැකලා ඒ දකින දේකින් ජීවිතේ යම් දවසක ප්‍රයෝජනයක් ගන්න ලැබුණොත්, එයයි අපේ සාර්ථකත්වය.

අද මේ දිග හැරෙන්නෙ "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර " ලිපි මාලාවේ එකොළොස්වැනි ලිපිය. මීට කලින් ලිපියෙදි අපි කතා කළේ ආරක්ෂිත ඉරියව්ව පිළිබඳව. අද මේ බ්ලොග් අඩවියට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් නම්, අපි ආරාධනා කරනවා මුල ඉඳන් පළවුණු ලිපි ටිකත් කියවගෙන එන්න කියල. මොකද අපේ මේ ලිපි පෙළ දිග හැරෙන්නෙ ඉතාම ක්‍රමවත් ගලා යාමක් සහිතව. අරහෙන් මෙහෙන් ලුණුයි, මිරිසුයි එකතු කරල හදන සම්බෝලයක් නෙමෙයි මේක. හොඳයි මිතුරු මිතුරියනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රථමාධාරයේ එන තවත් වැදගත් මාතෘකාවක් සම්බන්ධව. ඒ තමයි ද්විතියික විනිශ්චය එහෙම නැත්තන් Secondary Survey. 

මතකද මූලික විනිශ්චය? මූලික විනිශ්චය කියන්නෙ පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ජෛව සාධක පරික්ෂා කර බැලීම. එහෙනම් ද්විතියික විනිශ්චය කියල කියන්නෙ අපි මේ ලිපි පෙළේ මුලින්ම කතා කරපු රෝගී කළමනාකරණ පටිපාටියේ ඊළඟ අදියර. මූලික විනිශ්චයේදී යම් රෝගියෙකුගේ ජීවිතය බරපතල අවදානමක තියෙනවා නම් ඒ අවදානම ඉවත් කරන්න අපි ප්‍රතිකර්ම කරනවා. ඉන් අනතුරුව අපි මේ ද්විතියික විනිශ්චයේදි කරන්නෙ, රෝගියාට තියෙන අනෙකුත් ආබාධ පිළිබඳව පරික්ෂා කරලා, රෝග විනිශ්චය සිදු කරලා අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන එක සහ රෝගියා ආරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන එක.. අපි දැන් බලමු, කොහොමද මේ ද්විතියික විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙ කියලා. සාකච්ඡා කිරීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව තකා අපි මේ ද්විතියික විනිශ්චය සිදු කරන ආකාරයත් පියවර වශයෙන් කතා කරමු.

1. රෝග ඉතිහාසය


රෝගියාට මේ අවස්ථාවේදී ඇතිවෙලා තියෙන රෝගී තත්ත්වයට හේතු විය හැකි යැයි හිතෙන හැම දෙයක්ම අපි රෝග ඉතිහාසය කියල තමයි හඳුන්වන්නෙ. රෝග ඉතිහාසය දැන ගැනීම අපිට ඉතාම වැදගත් වෙනවා රෝගය මොකක්ද කියල තීරණය කිරීමේදී සහ ප්‍රථමාධාර ලබා දීමේදී. රෝග ඉතිහාසය ගැන සොයා බලනකොට අපි මෙන්න මේ කරුණු පහ ගැන අනිවාර්යය අවධානය යොමු කරන්න ඕනෙ. මේ කරුණු පහ අපි AMPLE (ඇම්පල්) කියල හඳුන්වනවා.

A  -  Allergies  -  රෝගියාට ආසාත්මිකතා තිබේද?

M  -  Medications  -  රෝගියා යම් ඖෂධයක් ලබාගෙන තියෙනවද? දෛනිකව ඒ වගේ යම් බෙහෙතක් පාවිච්චි කරනවද?

P  -  Previous Medical History  -  වෛද්‍යමය ඉතිහාසය. ඇත්තටම මෙතනදි බලන්නෙ කලින් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද, වෛද්‍ය ප්‍රතිකාර අරන් තියෙනවද කියන එක. (මම උදාහරණයක් කියන්නම්. අපිට ප්‍රථමාධාර සේවාවන් වලදි නිතරම හමු වෙනවා අපස්මාර රෝගීන්. මගේ මේ අවුරුදු හයක ප්‍රථමාධාර ජීවිතේදි මට නම් කවදාවත් මුණගැහිල නෑ ප්‍රථම වතාවට අපස්මාර තත්ත්වයක් ඇතිවෙච්ච රෝගීන්. හම්බවෙලා තියෙන හැමෝම මීට කලිනුත් අපස්මාරය හැදිලා, වෛද්‍ය ප්‍රතිකාර අරගෙන, රෝගය ඇතිවෙන්න කලින් වරුවෙ බෙහෙත් වේල නොබීපු අය. ඔන්න ඔය වගේ අවස්ථා වලදි වෛද්‍යමය ඉතිහාසය ප්‍රථමාධාරකරුවෙකුට ගොඩක් වැදගත් වෙනවා ඊළඟට කරන්න ඕන දේ ගැන තීරණය කරන්න )

L  -  Last Meal  -  අවසන් වරට ගත් ආහාරය සහ ආහාර ගත් වේලාව.

E  -  Event/ Environment  -  සිදුවීම / ආබාධයේ පසුබිම. සරලව මේ කියන්නෙ "හරියටම මොකක්ද සිද්ධ වුණේ" කියන එක. දුවන්න ගිහින් ලිස්සල වැටුණා, ක්ලාන්තයක් හැදිල වැටුණා, මෝටර් සයිකලයක හැප්පුණා.. දවල්ට කඩේකින් කොත්තුවක් තමයි කෑවෙ. ඊට පස්සෙ තමයි මේ බඩ රිදෙන්නෙ.. ඔය ඕනම දෙයක්.

රෝග ඉතිහාසයට සම්බන්ධ මේ කරුණු අපිට රෝගියාගෙන් අහල දැනගන්න පුළුවන්. එහෙම නැත්තන් වටාපිටාවෙ ඉන්න අය, රෝගියාගේ පවුලෙ අය, ඒ වෙලාවෙ රෝගියා එක්ක හිටපු අයගෙන් අහල දැනගන්නත් පුළුවන්. එහෙමත් නැත්තන් අවට නිරීක්ෂණය කිරීමෙනුත් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කවුරුහරි පුද්ගලයෙක් කුඹුරෙ වැටිල ඉන්නවා. වල් නාශක බෝතලේකුත් ළඟ පාත තියෙනවා. රෝගියා ළඟින් සැර ගඳකුත් එනවා. එහෙනම් අපිට අනුමාන කරන්න පුළුවන් මේ වස ශරීරගත වීමක් කියලා. ඒ වගේම රෝගියා හා සම්බන්ධ වෛද්‍යමය තොරතුරු වලිනුත් අපිට යම් නිගමනයකට එන්න පුළුවන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.

2. රෝගී තත්ත්වය හඳුනා ගැනීම


රෝගී තත්ත්වය හඳුනා ගන්න අපි ප්‍රධාන ක්‍රම දෙකක් අනුගමනය කරනවා.

රෝග ලක්ෂණ හා නිමිති


රෝග ලක්ෂණ කියල කියන්නෙ රෝගියා අපිට කියන සහ අපි රෝගියාගෙන් අහල දැනගන්න දේවල්. වේදනාව, හිරිවැටීම, සීතල දැනීම, ඔක්කාරය ඔය වගේ රෝගියා පවසන ඕනෑම දෙයක්. රෝග නිමිති කියල කියන්නෙ දැකීමෙන්, දැනීමෙන්, සවන් දීමෙන්, ආඝ්‍රාණයෙන් ප්‍රථමාධාරකරු හඳුනා ගන්නා දේවල්. ඉදිමීම, පැහැය වෙනස් වීම, සුදුමැලි වීම, නාඩි වැටෙන රිද්මය සහ ගැඹුර, දහඩිය දැමීම වගේ දේවල්. පැහැදිලියි නේද?

පූර්ණ ශරීර පරික්ෂාව - Head to Toe Assessment 


රෝග ලක්ෂණ හා නිමිති වලට අමතරව අපි තවත් ක්‍රියාකාරකමක් කරනවා රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා. මේක අපි පූර්ණ ශරීර පරික්ෂාව කියල හඳුන්වනවා. වචනයේ කියනව වගේම මේකෙදි කරන්නෙ රෝගියාගේ හිසේ සිට පාදය දක්වා පරික්ෂා කර බලන එක. දැන් අපි බලමු කොහොමද පූර්ණ ශරීර පරික්ෂාවක් කරන්නෙ කියලා.


  • ස්වසනය 


ඔයාල බලනවා ඇති මූලික විනිශ්චයේදිත් ස්වසනය පරික්ෂා කරලා, ද්විතියික විනිශ්චයේදිත් ස්වසනය පරික්ෂා කරන්නෙ ඇයි කියලා. මූලික විනිශ්චයේදි අපේ බලාපොරොත්තුව රෝගියාගේ අත්‍යාවශ්‍ය ජෛව සාධක ක්‍රියාත්මක වෙනවාදැයි බලන එක. යන්තමින් හරි හුස්ම වැටෙනවනම් මූලික විනිශ්චයේදි වැඩේ ගොඩ. නමුත් ද්විතියික විනිශ්චයේදි අපි කරන්නෙ රෝගය හඳුනා ගන්න එක. ඒ නිසා මෙතනදි අපි ස්වසනය පරික්ෂා කරනව කියල කරන්නෙ ස්වසනය සාමාන්‍ය ආකාරයෙන් ම සිදු වෙනවද, නැත්තන් මොනවත් අසාමාන්‍ය ලක්ෂණ (හුස්ම ගැනීම වේගවත් ද සෙමින් ද, ගැඹුරු ද, නොගැඹුරු ද, හුස්ම ගන්නෙ අපහසුවෙන්ද, රාං රූං සද්දයක් එනවද වගේ දේවල් ) තියෙනවද කියල බලන එක. ඒ වෙනස පැහැදිලිව තේරුම් ගන්න.


  • නාඩි පරික්ෂාව


ඉස්සෙල්ලා ස්වසනය වගේම තමයි මෙතනදිත් කතන්දරේ. හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා තියෙනවද කියලයි අපි බලන්නෙ. නාඩි වැටීම වේගවත් ද? සෙමින් ද?, ශක්තිමත් ද? දුර්වලද? රිද්මයානුකූලව සිදු වෙනවද නැත්තන් වරින් වර වෙනස් වෙනවද? ඔන්න ඔය වගේ දේවල්.


  • සිදු වී ඇති අනතුරු


මෙතනදි අපි හිස, බෙල්ල, උරහිස්, දෙ අත් සහ ඇඟිලි, පර්ශු, උදරය, ශරීරයේ දෙපස, කොඳු ඇට පෙළ, කකුල් සහ ඇඟිලි දක්වා අපේ අත් වලින් පරික්ෂා කරල බලනවා. මේ පරික්ෂාවේදී අපිට තහවුරු කරගන්න පුළුවන් රෝගියාගේ ශරීරයෙන් අපිට එක්වරම නොපෙනුන රුධිර වහනයක් සිදු වෙනවද, අස්ථි බිඳුම් සිදු වෙලා තියෙනවාද කියල.





3. ප්‍රථමාධාර කිරීම සහ ප්‍රවාහනය


මේ පරික්ෂා ටික අහවර වෙද්දි අපිට රෝගියාගේ රෝගී තත්ත්වය/ ආබාධය ගැන නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්.  ඊට පස්සෙ ඒ එක් එක් රෝගී තත්ත්වයේ ප්‍රමුඛතාවය අනුව (රෝගියාගේ ජීවිතයට දශමෙකින් හරි අවදානම වැඩි රෝගයට/ ආබාධයට තමයි ඉස්සෙල්ල ප්‍රථමාධාර කරන්නෙ ) අපි රෝගියාට ප්‍රථමාධාර කරනවා. ක්ලාන්තයක් නම් ඊට අදාල ප්‍රථමාධාර, තුවාලයක් නම් අපි ලේ එන එක නවත්තලා, සැරහුමක් යොදනවා, අස්ථි බිඳුමක් නම් අදාල අවයවය නිශ්චල කරනවා. ඔය වගේ එක් එක් රෝගී තත්ත්වයට අපි ප්‍රථමාධාර කරලා, ගෙනියන්න පුළුවන් වඩාත් ම ආරක්ෂිත ක්‍රමයෙන් රෝගියාව රෝහල් ගත කරනවා. මේ ප්‍රවාහන මාධ්‍යය තෝරගන්නකොට රෝගියාගේ රෝගී තත්ත්වය, ශරීර ප්‍රමාණය, රැගෙන යා යුතු දුර, අපිට උදව් කරන්න කී දෙනෙක් ඉන්නවද, අපට ඒ අවස්ථාවේ තියෙන සම්පත් මොනවාද කියන දේවල් ගැන සැළකිලිමත් වෙන එක වැදගත්.

ඔයාල දැන් කල්පනා කරනවා ඇති ද්විතියික විනිශ්චයෙන් රෝගියාගේ රෝගී තත්ත්වය මොකක්ද කියල තීරණය කරගත්තට පස්සෙ ඒ ඒ රෝගයට කොහොමද ප්‍රථමාධාර කරන්නෙ කියල. කලබල වෙන්න එපා. අපේ මේ ලිපි මාලාවේ ඉදිරි ලිපි වෙන් වෙන්නෙ අන්න ඒ ගැන කතා කරන්න තමයි. ක්ලාන්තය, තුවාල, රුධිර වහනයක් කළමනාකරණය කරන්නෙ කොහොමද, අස්ථි බිඳුමකදී, සර්ප දෂ්ඨනයකදී, උළුක්කුවකදී කරන්නෙ මොනවාද, උගුරේ/ කනේ/ නාසයේ යම් දෙයක් හිර වුණොත් මොකද කරන්නෙ, ඔය වගේ ගොඩාක් අවස්ථාවන් ගැන අපි ඉදිරි ලිපි වලින් කතා කරනවා. වැදගත් වෙන්නෙ මෙතෙක් අපිත් එක්ක හිටියා වගේම ඉදිරියටත් මේ ලිපි පෙළ පරිශීලනය කරන එක. ඔබට අනිවාර්යයෙන්ම ප්‍රථමාධාර පිළිබඳව හොඳ දැනුමක් ලැබේවි. මේ ලිපි පෙළ කියෙව්වා කියල ඔබට සුපිරි ප්‍රථමාධාරකරුවෙක් වෙන්න බැරි එක නම් ඇත්තයි. නමුත් මේ ලිපි පෙළ නිසා ඔබ මෙච්චර කල් හරියි කියල හිතාගෙන කරපු වැරදි දේවල් වත් නොකර හිටියොත් ඒකත් හොඳටම ඇති. හරි දේ කරන්න දන්නෙ නැත්තන් අඩු තරමෙ ඔබ වැරදි දේ නොකර සිටීම රෝගියාගේ ජීවිතයට හොඳයි, වෛද්‍යවරයාට පහසුයි සහ ඔබේ සෞඛ්‍යයටත් හොඳයි.

හරි එහෙනම් අද ලිපිය නිමා කරන්නයි යන්නෙ. අපේ ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නෙ අපේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව. එතනින් එහාට අපි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගැන වෙන් වෙන්ව කතා කරනවා. එතකන් ඔය ගැටළු එහෙම තියෙනවා නම් පහළින් කොමෙන්ට් කරන්නකො. මම කලින් දවසකත් කිව්ව වගේම, ඔබේ අදහස් සහ යෝජනා තමයි අපිව දිරිමත් කරන්නෙ. අපි මේ මහන්සි වෙලා ලියන දෙයින් ඔබ ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනගත්තම අපිට හරි සතුටුයි. ඒ නිසා ඔබේ අදහස් ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් එහෙනම්. ඊළඟ ලිපිය අරන් ඉක්මනටම එනවා. එතෙක් ජය හා සතුට !

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?