ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?

එදිනෙදා ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවෙන එකී මෙකී නොකී විවිධ අනතුරු රෝගාබාධ අතරේ, බොහොම සුලබ දෙයක් තමයි ක්ලාන්තය කියන්නෙ. ජීවිත කාලෙටම එක වරක් හරි ක්ලාන්තයක් හැදුනෙ නැති කෙනෙක් ඉන්නවානම් ඒ කලාතුරකින්. ඉතින් අද මේ කතාබහ වෙන්වන්නේ කොයිවෙලාවෙ හරි ක්ලාන්තයක් හැදීගෙන ආවොත් හෝ හැදුනොත් කරන්න ඕන මොකද්ද කියල කතා කරන්න.







ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි?


ක්ලාන්තයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය තාවකාලික හේතුවක් නිසා ප්‍රමාණවත්ව නොලැබී යාම.

මේ තත්ත්වය යම්කිසි වේදනාවක් නිසා, අධික වෙහෙස නිසා, දිගු වේලාවක් ආහාර නොගෙන සිටීම නිසා හෝ හැඟීම් දරාගැනීමට නොහැකිවීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම උණුසුම් පරිසරයක දිගු වේලාවක් ශරීරය අක්‍රීයව පැවතීම (දිගු වේලාවක් සිටගෙන සිටීම, එකම ඉරියව්වෙන් සිටීම )  ආදියත් මීට හේතුවෙන්න පුළුවන්. මේ අක්‍රීය බව නිසා සිදුවෙන්නෙ, ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් පාද ආශ්‍රිතව එක් රැස් වෙමින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය තරමක් අඩු වෙන එක.





ක්ලාන්තය හඳුනාගන්නේ කොහොමද?


අපි හිතමු ඔබට ක්ලාන්තයක් හැදීගෙන එනවා කියලා.. මෙන්න මේ රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්..

1. අධික දහඩිය දැමීම.
2. කොයිතරම් උණුසුම් පරිසරයක හිටියත් එක්වරම තද සීතලක් දැනෙනවා.
3. පෙනීම දුර්වල වෙනවා / බොඳ වෙලා වගේ පේනවා.
4. අවධානයෙන් හිටියොත් ඔබට දැනේවි හෘද ස්පන්දන වේගයත් අඩුවෙලා තියෙන බව.
5. කරකැවිල්ලක් වගේ දැනෙනවා, ඇස් නිලංකාර වෙනවා, ඔබේ සමබරතාවය නැතිවේගෙන එන බවක් දැනෙනවා.
6. කන් දෙක අගුල් වැටෙනවා, ළඟ ඉන්න කෙනා මොකුත් කිව්වත් දැන් නම් ඇහෙන්නෙ නෑ.
7. අන්තිමේ ඔබ බිම වැටෙනවා. 

ඉතින් මේ ලක්ෂණ පහල වේගෙන ආවොත්, ඉක්මනින්ම ඔබ කරමින් ඉන්න වැඩේ නවත්වන්න. ඉක්මනටම අයිනකට ගිහින් වාඩි වෙන්න. බස් එකේ හිටගෙන යන ගමන් නම් ඔබට මේ තත්ත්වය ඇතිවෙන්නෙ, ළඟ ඉන්න කෙනාට කියන්න "මට ක්ලාන්තයක් වගේ.. ඉඳගන්න ඉඩ දෙන්න පුළුවන්ද.. " ඔබට මේ තත්ත්වය ඇතිවෙන්නෙ උස් ස්ථානයක වැඩ කරමින් ඉන්න අතරෙ වෙන්නත් පුළුවන්.. වැටුණොත් වෙන්නෙ මොකද කියල හිතාගන්න පුළුවන්නෙ නේද? ක්ලාන්තය කියන්නෙ අතිශය භයානක රෝගී තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ක්ලාන්ත රෝගියෙක් මිනිත්තු 4 -5 අතර කාලයකදී සම්පූර්ණයෙන් සුවය ලබනවා. නමුත් ක්ලාන්ත තත්ත්වයකදී ශරීරයේ සමබරතාවය නැතිවෙන නිසා, රෝගියා බිම ඇද වැටෙනවා. අන්න ඒක භයානකයි. බිම වැටෙද්දි ඔළුව කොහෙහරි වැදුනොත්? ඔබ උස් ස්ථානයක වැඩ කරමින් ඉද්දි එතනින් බිමට වැටුණොත්? විය හැකි හානිය ඉතාම බරපතලයි. මරණය පවා සිදුවෙන්න පුළුවන්. ඒ නිසා, ඔබට ක්ලාන්තයක් ඇතිවේගෙන එන බව දැණුනොත්, කළ යුතු පළමු දේ තමයි වැටෙන එකෙන් වළකින එක. 

ක්ලාන්තය ඇතිවුණාට පස්සෙ, රෝගියා තුළින් අපිට මේ ලක්ෂණ දකින්න පුළුවන්. 

8. සිහිය නැති බව.
9. අඩු නාඩි වේගය.
10. සුදුමැලි, සීතල සම සහ දහඩිය දැමීම.


ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?


අපි කලින් කිව්වා වගේම, ක්ලාන්තය කියන්නෙ භයානක රෝගී තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ක්ලාන්ත රෝගියෙක් මිනිත්තු 4-5 කාලයක් තුළ සම්පූර්ණයෙන් සුවය ලබනවා. ක්ලාන්තය කියන්නෙ මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය ප්‍රමාණවත්ව නොලැබීම නිසා ඇතිවෙන තාවකාලික තත්ත්වයක් කියල අපි කිව්වනෙ. එහෙනම් මෙතනදි අපේ අරමුණ විය යුත්තේ, රෝගියාගේ මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිර සැපයීම ක්‍රමානුකූල කරන එක. මෙන්න මේ ප්‍රථමාධාර අනුගමනය කළොත් ඔබට රෝගියාව ඉක්මනින්ම ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. 


1. වැටීම වළක්වන්න.

මේකෙ තියෙන වැදගත්කම අපි කලින් කතා කළා.


2. පිරිසිදු වාතාශ්‍රය යහමින් ලැබීමට සලස්වන්න.

රෝගියාට ක්ලාන්තය ඇතිවුණේ එළිමහනකදී නම්, රෝගියාව එහා මෙහා කරන එක ආරක්ෂිත නම් සෙවණ තියෙන තැනකට ගෙනියන්න. අහල පහල වටවෙලා ඉන්න අයව ඉවත් කරන්න. එයාල වටවෙලා ඉද්දි ඒ අවට තියෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වාතාශ්‍රයක්. ඒක රෝගියාට අපහසුවක්. ප්‍රමාණවත් සුළඟක් හමන්නෙ නෑ කියල හිතෙනවානම් රෝගියාගේ මුහුණට ටිකක් ඉහළින් පවන් ගහන්න පුළුවන්. ක්ලාන්තය ඇතිවුණේ ගෘහස්ථ පරිසරයක නම් (ගෙයක් ඇතුලේ, ඉස්කෝලෙ පන්ති කාමරය, කාර්යාලය ), ජනෙල් ටික විවෘත කරන්න. විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න. 

3. තද ඇඳුම් ලිහිල් කරන්න.


අපි අඳින ඇඳුම් හිර වැඩි වුණාම ඒ ඇඳුම් නිසා රුධිර වාහිනී තෙරපිලා රුධිර සංසරණයට සහ ස්වසනයට බාධා වෙනවා. මේ බාධාව ඇතිවිය හැකි ප්‍රධාන ස්ථාන තමයි බෙල්ල, පපුව, උදරය, ඉණ, අත් සහ පාද. රෝගියා ටයි එකක් දාලා ඉන්නවා නම්, කමිසයේ උඩ බොත්තම දාලා නම්, ඉණ පටියක් (බෙල්ට් එක ) දාලා නම්, සපත්තු දාලා නම්, ඒවා ලිහිල් කරන්න. කාන්තාවන් අඳින උඩුකය යට ඇඳුමක් නිසාත් ස්වසනයට බාධා වෙන්න පුළුවන්. ලිහිල් කිරීම අත්‍යාවශ්‍යයි කියල ඔබ හිතනවා නම්, වෙනත් කාන්තාවකගේ සහාය ලබාගන්න අමතක කරන්න එපා. 

මේ ක්‍රම වලින් අපිට පුළුවන් රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය ක්‍රමානුකූල කරන්න.  

4. දෙපා ඔසවා තබන්න.



ශරීරය අක්‍රීයව පවතින අවස්ථාවලදී ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් අපේ දෙපා ආශ්‍රිතව එක් රැස් වෙනවා. දෙපා හෘදයට වඩා ඉහළින් ඔසවා තියල අපිට පුළුවන් ඒ එක් රැස් වූ රුධිරය හිස දෙසට යොමු කරවලා ඉතාම ඉක්මනින් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය කරවන්න. 






මේ ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන අතරතුර රෝගියාගේ මුහුණ දිහා වරින් වර බලන්නත් අමතක කරන්න එපා. රෝගියා සුවවීමේ මූලික ලක්ෂණ පහළ වෙන්නෙ මුහුණෙන්. මේ ප්‍රථමාධාර ක්‍රම ක්‍රියාත්මක කළොත් ඔබට පුළුවන් ක්ලාන්ත රෝගියෙක්ව ඉතාම ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න. රෝගියා සුවය ලබන්න ඉතා වැඩි කාලයක් ගන්නවානම්, ස්වසනය සහ රුධිර සංසරණයේ අක්‍රමවත් බව දිගටම පවතිනවා නම් DRABC ක්‍රියාවට නංවමින් රෝගියා වහාම රෝහල්ගත කළ යුතුයි.

රෝගියා සුවය ලබා නැගිට්ටට පස්සෙ "මොකද වුණේ? " කියල ඇහුවම රෝගියා කියන්න පටන් ගනියි එක එක දේවල් ගොඩක්. ඒ අතරින් ක්ලාන්තයට හේතුවුණ කරුණ හොයාගන්න ඔබට පුළුවන් වේවි. ඉස්කෝලෙ උදේ රැස්වීමෙදි නම් ගොඩක් දරුවො වැටෙන්නෙ උදේ ආහාර ගන්නෙ නැතුව ආපු නිසා. රෝගියා ප්‍රකෘති තත්ත්වයට ආවට පස්සෙ කෑමට බීමට යමක් දුන්නා කියල ගැටළුවක් නෑ. හැබැයි ඔබ කවන්න පොවන්න යන්න එපා. රෝගියා අතට දෙන්න.. රෝගියා කයි/ බොයි.  

නොකළ යුතු දේවල්.


1. සිහිය ගන්න හිතාගෙන රෝගියාගේ මුහුණට වතුර ඉහින්න එපා. ඒ වෙනුවට අත්ලට වතුර ටිකක් අරගෙන මුහුණේ තවරන්න. 

2. අසිහි අවස්ථාවේදී කවන්න, පොවන්න උත්සාහ කරන්න එපා. 

ක්ලාන්තය කියන්නෙ එදිනෙදා ජීවිතයේ නිතර දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. ඒ සඳහා නිසි ප්‍රථමාධාරය දැන සිටීම ඔබට කවදා කොයි මොහොතක හෝ ප්‍රයෝජනවත් වේවි. 







Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?