තුවාල සහ රුධිර වහන කළමනාකරණය - II

ආයුබෝවන් හැමෝටම. දිගු විරාමයකින් පසුව නැවතත් අපේ ප්‍රථමාධාර ලිපි මාලාව ආරම්භ කරන්නයි සූදානම. ලිපි පෙළත් එක්ක රැඳී සිටිය අයට දැන් නම් අමතක වෙලත් ඇති. එහෙම අමතක වෙලා නම්, නැවත වරක් පසුගිය ලිපි කියවලා මතකය අළුත් කරගන්න මේ හොඳම වෙලාව. මේ දිග හැරෙන්නේ "First Aid For Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර ලිපි මාලාවේ දා හතරවන ලිපිය. ලිපිය අළුත් වුණාට අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ තුවාල සහ රුධිර වහන කළමනාකරණය සම්බන්ධවම තමයි. පසුගිය ලිපියෙන් අපි කතා කළා තුවාල පිළිබඳව. අද අපේ කතාබහ වෙන්වන්නෙ, රුධිර වහනයක් කළමනාකරණය කරගන්නෙ කොහොමද කියන එක ගැන. ඇයි තුවාල සහ රුධිර වහන අවස්ථාවන් කළමනාකරණය කළ යුත්තේ? නිකන් තිබ්බම හරියන්නෙ නැද්ද? ඔය ප්‍රශ්න වලට පිළිතුරු අද මේ ලිපිය අහවර වෙද්දි ඔයාලට ලැබිල තියෙයි.


තුවාලයක් / රුධිර වහනයක් අවදානම් වන්නේ ඇයි?


අපේ ශරීරය පුරාම ද්‍රව්‍ය පරිවහනය සිදු කරන්නෙ රුධිරය මගින්. මේ ද්‍රව්‍ය අතරේ ඔක්සිජන් සහ ග්ලූකෝස් ප්‍රධාන තැනක් හිමි කරගන්නවා. ඒ අතරම හෝර්මෝන සහ එන්සයිම පරිවහනය, ශරීරයේ උෂ්ණත්වය යාමනය කිරීම, සෛල සහ පටක වලින් බැහැර කරන අපද්‍රව්‍ය වකුගඩු, අක්මාව වැනි ඉන්ද්‍රීන් වෙත පරිවහනය, රුධිර පීඩනය නියාමනය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයන් රුධිරය මගින් ඉෂ්ට කෙරෙනවා. මේ සියළුම කාර්යයන් නොපිරිහෙලා සිදු කරන්න අපේ ශරීරය ඇතුළෙ තියෙන්නෙ රුධිරය ලීටර් 6ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් සිරුරේ බර කිලෝග්‍රෑම් 13 කට : රුධිරය ලීටර් 1 ක් වගේ අනුපාතයක් තමයි තියෙන්නෙ. කුමක් හෝ හේතුවක් නිසා අපේ ශරීරයෙන් රුධිරය ඉවත් වෙන්න ගත්තොත්, එතකොට අර අපි උඩින් කියපු කාර්යයන් ඉෂ්ට කරන්න ඉන්න හමුදාව මදි වෙනවා නේද? එතකොට ඒ ජීව ක්‍රියාවන් එකින් එක නතර වෙලා මොළය සහ හෘදය ඇතුළු සියළුම අවයව/ඉන්ද්‍රීන් නතර වෙනවා. මතකද මූලික විනිශ්චය පාඩමේදි අපි කිව්වා "මූලික ජෛව සාධක" කියල කතන්දරයක්? දැන් මෙතනදි මූලික ජෛව සාධක වලට බාධා වෙලා නේද තියෙන්නෙ? රුධිර සංසරණයට බාධා වුණොත්, එමගින් සෘජුව ම ස්වසනයටත් බාධා ඇතිවෙනවා. දැන් පේනවද රුධිර වහනයක් කොච්චර බරපතල ද කියල? ඒ නිසා, මිනිස් සිරුරේ පද්ධතීන් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න නම්, රුධිර වහනයක් ඇතිවූ වහාම එය පාලනයට කටයුතු කිරීම වැදගත්.



තුවාලයක හෝ රුධිර වහනයක බරපතලකම කොයි තරම් වුණත් අපි එය කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කරන්නෙ එකම ක්‍රියා පිළිවෙතක්. මෙම ක්‍රියා පිළිවෙත අපි කෙටියෙන් DELBOTS කියන ඉංග්‍රීසි අකුරු කිහිපයෙන් හඳුන්වනවා. මතක තබා ගැනීමේ පහසුව සඳහා DELBOTS කියලා තනි වචනයකින් හැඳින්වූවාට මෙතන තියෙන්නෙ රුධිර වහනයක් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කරන පියවර 7 ක්. දැන් අපි මේ අකුරු වලින් කියවෙන දෑ පිළිබඳව එකින් එක විමසා බලමු.



D - Direct Pressure - සෘජු පීඩනය


මෙහිදී සිදු කරන්නේ තුවාලය මත පිරිසිදු, වියළි, නොඇලෙනසුළු රෙදි හෝ ගෝස් පෑඩයක් තබා තද කර තබා ගැනීමයි. තුවාලය මත මේ සෘජු පීඩනය ලබා දීම මගින් සිදුවෙන්නෙ අදාල ස්ථානයෙන් ගමන් කරන රුධිර වාහිනී තද කිරීමකට ලක් කර රුධිරය ගලා යාම තාවකාලිකව අවම කිරීම. රුධිර වාහිනියකින් රුධිරය ගලා යාම අවම වෙනවා කියන්නෙ, අදාල ස්ථානයේ යම්කිසි බාහිර රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් එයත් අවම වෙන එකයි. පහත රූපය බැලුවහම ඔබට මේක තවත් පැහැදිලි වෙයි.





මෙම අනතුර ඇතිවන අවස්ථාව අනුව ඔබට අර කලින් කිව්වා වගේ පිරිසිදු, වියළි, නොඇලෙනසුළු රෙදි පෑඩයක් හෝ ගෝස් කැබැල්ලක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් රෝගියාට කියන්න "තුවාලය උඩින් තද කරල අත්ල තියාගන්න" කියලා. ස්ථාවරව පීඩනය ලබාදෙන්න යමක් සොයාගන්නා තෙක්, ඒ ක්‍රමය යොදාගන්න පුළුවන්. මතක තියාගන්න, ඔබ මේ යොදන පීඩනය ඒකාකාර විය යුතුයි. සැරින් සැරේ බුරුල් වුණොත්, තද වුණොත් මෙයින් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබී යනවා. තුවාලය මත සුදුසු පෑඩයක් තැබුවායින් පස්සෙ, මේ සෘජු පීඩනය ඒකාකාරව තබා ගැනීම සඳහා වෙළුම් පටියකින් වෙළන්න පුළුවන්. එතකොට පෑඩ් එක එහෙ මෙහෙ යන්නෙත් නෑ, පීඩනය වෙනස් වෙන්නෙත් නෑ. වෙළුම දැම්මට පස්සෙ, රුධිර සංසරණය පරික්ෂා කර බැලීම ඉතාම වැදගත් (රුධිර සංසරණය පරික්ෂා කරන ආකාරය ගැන අපි කතා කළා මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය පාඩමේදි ). යම් බාධාවක් ඇතිවෙලා තියෙනවා නම්, වෙළුම මදක් ලිහිල් කර නැවත දැමිය යුතුයි.

යම් හෙයකින් අපි තියපු පෑඩය හරහා බාහිරට රුධිරය දර්ශනය වෙනවා නම්, අපි වෙළුම් පටිය ගලවලා, පළමු පෑඩය උඩින් තවත් ඒ වගේම පෑඩ් එකක් තියල නැවත කලින් වගේම වෙළනවා. රුධිර වහනය ටිකක් දරුණුයි නම් ටික වෙලාවක් යද්දි මේ පෑඩ් දෙකම අභිබවමින් රුධිරය ඉවතට දර්ශනය වෙන්න පුළුවන්. එතකොට අපි අර මුල් පෑඩ් දෙකම ඉවත් කරල, අළුතෙන් පෑඩ් එකක් තියල නැවත වෙළනවා. රෝගියා රෝහලට අරන් යද්දි අර ඉවත් කරපු පෑඩ් දෙකත් අරන් ගිහින් වෛද්‍යවරයාට බාර දෙන්න මතක තියාගන්න. එමගින් වෛද්‍යවරයාට පුළුවන් මේ රෝගියාගේ ශරීරයෙන් ඉවත් වෙච්ච රුධිර ප්‍රමාණය ගැන අවබෝධයක් ගන්න.

තව වැදගත් දෙයක්.. කිසිම වෙලාවක ශරීරයට හෝ තුවාලයට ඇනී ඇති දේවල් (ඇණ, පිහි, ලී කැබලි ආදී ඕනෑම දෙයක්) ඉවත් කරන්න උත්සාහ කරන්න තියා හිතන්නවත් එපා. යම් බාහිර දෙයක් ශරීරයට ඇනිලා තියෙද්දි එමගින් ද රුධිර වහනය පාලනය වීමක් සිදු වෙනවා.. හරියට ඇබයක් ගහල වගේ. නමුත් ඔබ ඒ ඇනී තිබෙන දේ ඉවත් කළොත් ඔබට පාලනය කළ නොහැකි තරමේ විශාල රුධිර වහනයක් ඇති වේවි. ඒ නිසා ඇනිලා තියෙන වැට ඉන්නක් වුණත් කමක් නෑ ඒකත් එක්කම රෝගියා රෝහල්ගත කරන්න. වෛද්‍යවරු ඉතිරි හරිය බලා ගනියි !


E - Elevate - ඔසවා තබන්න


රුධිර වහනය සිදුවෙන අදාල අවයවය හෘදයට වඩා ඉහළින් සිටින සේ ඔසවා තබන්න. මෙමගින් අදාල අවයවයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා, තුවාලයෙන් රුධිරය වහනය වීමත් අඩු වෙනවා.


L - Lie Down - හාන්සි කරවන්න / බිම දිගා කරවන්න


රෝගියාගේ ශරීරය වෙහෙසට පත් වෙනවා කියන්නෙ රුධිර සංසරණයත් වේගවත් වෙන එක. එතකොට ඊට සාපේක්ෂව එක් එක් අවයව වෙත රුධිරය සැපයෙන වේගයත් වැඩි වෙනවා. එතකොට තුවාලයක් වගේ තියෙන අවස්ථාවක අදාල අවයවයෙන් රුධිරය හානි වෙන වේගයත් වැඩියි. ඒ නිසා රුධිර වහනයක් පවතින අවස්ථාවක රෝගියාව විවේකීව තැබීම ඉතා වැදගත්. ඒ වගේම දරුණු රුධිර වහන අවස්ථාවක රෝගියාට ක්ලාන්ත තත්ත්වයක් වගේ ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. බැරිවෙලාවත් ක්ලාන්ත වුණොත් බිමට වැටිලා රෝගියාට ද්විතියික අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.. ඒ නිසා රෝගියාව හාන්සි කරවා හෝ බිම දිගා කර තැබීම වැදගත්.


B - Bandage - වෙළුමක් යොදන්න


අපේ ශරීරය පුරා දිවෙන රුධිර නාල පද්ධතියේ විශේෂිත ස්ථාන කිහිපයක් ඔබට පහත රූප සටහනින් හඳුනාගන්න පුළුවන්. මෙම ස්ථාන අපි "ධමනීය පීඩන ස්ථාන" ලෙස හඳුන්වනවා.



ශරීරයේ යම් ස්ථානයක තුවාලයක් ඇතිවෙලා එයින් රුධිරය වහනය වෙන අවස්ථාවකදී, අදාල රුධිර වහනය පවතින ස්ථානයට ඉහළින් ඇති "ධමනීය පීඩන ස්ථානය" තෙරපීමකට ලක් කර වෙළුමක් යෙදීමෙන් එම ස්ථානයෙන් පහළට සැපයෙන රුධිර ප්‍රමාණය අවම කරන්න අපිට පුළුවන්. මතක තබා ගත යුතු කරුණ තමයි අපි මේ යොදන්නෙ පීඩන වෙළුමක් (Pressure Bandage) මිසක් තිරිංගයක් (Tourniquet) නොවන බව.


O - Observe - නිරීක්ෂණය කරන්න


අනතුරකට පත් වෙච්ච රෝගියෙකුගෙන් අපිට බොහෝ වෙලාවට එකවරම හඳුනාගන්න පුළුවන් වෙන්නෙ බාහිරින් තියෙන ආබාධ පමණයි. නමුත් මේ රෝගියාගේ අභ්‍යන්තරවත් වෙනත් ආබාධ තියෙන්න පුළුවන්. ඒ වගේම බාහිරව හෝ සිදුවන අධික රුධිර වහනය නිසා හෘදය ඇණහිටීම, ස්වසන නතර වීම වුණත් වෙන්න පුළුවන්. එම නිසා රෝගියා නිසි ප්‍රතිකාර වෙත යොමු කරන තෙක් රෝගියාගේ රුධිර සංසරණය සහ ස්වසනය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම වැදගත්.


T - Treat for other Injuries - වෙනත් ආබාධ වලට ප්‍රතිකර්ම කරන්න


මූලික විනිශ්චය පාඩමේදි අපි කතා කළා මතකද Life Threatening Conditions කියල කරුණු 2ක් ගැන? හෘදය ඇණහිටීම (හෝ අධික රුධිර වහනය ) සහ ස්වසනය නතර වීම තමයි මේ Life Threatening Conditions ද්විත්වය. දැන් අපි මේ රෝගියාගේ බලපෑම් එල්ල වෙලා තිබුණු මූලික ජෛව සාධකයට ප්‍රථමාධාර කරල ඉවර නිසා අපි රෝගියාට තිබිය හැකි වෙනත් ආබාධ සඳහා ප්‍රථමාධාර කිරීමට යොමු වෙනවා. උදාහරණ විදිහට අස්ථි භග්න, තැලීම්, උළුක්කු වීම් හෝ වෙනත් ඕනෑම ද්විතියික ආබාධයක් මීට අයත් වෙනවා. මේ වෙනත් ආබාධ අපිට රෝග ලක්ෂණ හා නිමිති ඔස්සේ හඳුනාගන්න පුළුවන්. (බලන්න මුල් ම ලිපි වලදි අපි කතා කරපු සරල කරුණු දැන් දැන් කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතාම සුමට ගලායාමක් ඇතිව තමයි අපි මේ ලිපි පෙළ සකසන්නෙ )


S - Treat for Shock - කම්පනයට ප්‍රථමාධාර කරන්න


ශරීරයෙන් අධිකව රුධිරය ඉවත් වීම නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය නොලැබී යාමෙන් කම්පනය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙය මාරාන්තික තත්ත්වයක් නිසා දරුණු රුධිර වහනයකදී කම්පන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවීම සහ ඊට අදාල ප්‍රථමාධාර ක්‍රියාත්මක කිරීම වැදගත්. කම්පනයේ රෝග ලක්ෂණ, ඊට අදාල ප්‍රථමාධාර පිළිබඳව අපි "කම්පනය - Shock" ලිපියෙන් සවිස්තරාත්මකව කතා කරමු.

කොයිතරම් බරපතල රුධිර වහනයක් වුණත්, මේ ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න පුළුවන් නම් අපිට ඒ රෝගියාගේ ජීවිතයට තිබෙන අවදානම අඩු කරන්න පුළුවන්. කියලා පියවරෙන් පියවර අපි විස්තර කළාට, මේකෙ තියෙන පිළිවෙලටම ඉස්සෙල්ලා සෘජු පීඩනය දීලා, ඊට පස්සෙ ඔසවා තියන්න ඕනෙ කියල එකක් නෑ. සෘජු පීඩනය ලබා දෙන්න පෑඩ් එකක් හොයාගන්නකම් අපිට පුළුවන් රෝගියාව හාන්සි කරල අදාල අවයවය හෘදයට ඉහළින් ඔසවා තියන්න. කොහොමහරි අවසානයේ අදාල පියවරයන් ටික ඔක්කොම අනුගමනය වෙලා තියෙනවානම් එච්චරයි. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න.

එහෙනම් තුවාල සහ රුධිර වහන කළමනාකරණය කොටස අපි මෙතනින් නිමා කරනවා. ගැටළු තියේනම් පහලින් කොමෙන්ට් කරන්න. කම්පනය ලිපියෙන් නැවත හමුවෙන තෙක් ඔබට ජය හා සතුට !

Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?