ගංවතුරෙන් පස්සෙ මේ ගැනත් හිතන්න...

ආයුබෝවන් හැමදෙනාටම ! පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සෑම ප්‍රදේශයකටම වගේ ඇතිවුණු ධාරානිපාත වර්ෂාවත් සමග, ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල විශාල ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. අපේ රටේ, අපේම සහෝදර ජනතාව පීඩාවට පත්වෙලා තිබෙන මේ අවස්ථාවේදී බොහෝ පිරිස්, ආයතන, ස්වේච්ඡා සංවිධාන ඒ විපතට පත්වූවන්ට ආධාර උපකාර කරන්න ඇප කැප වී සිටින අවස්ථාවක, ඔබව ඉතාම වැදගත් දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි මේ අපේ සූදානම. 

වර්තමානයේ නිරන්තරයෙන් අපිට අත්දකින්නට ලැබෙන ස්වාභාවික ආපදාවන් මේ තරම් දරුණුවට මිනිස්සුන්ට පීඩා ගෙන දෙන්න හේතු වෙලා තියෙන්නෙ අතීතයේ ඔබත් මාත් ඇතුළු අපි සියළු දෙනා පරිසරයට සිදු කළ නොමනාකම් බව සිහිපත් කරන්න කැමතියි. ඒ නොමනාකම් වලට අපි අද ඇතැම්විට ජීවිතවලින් පවා වන්දි ගෙවනවා. කොහොම නමුත් මේ වනවිට අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු පෙනෙන්නට තියෙනවා. ඒ අනුව, තව කිහිප දිනකින් වතුර බැහැල ගිහින් ගංවතුර තත්ත්වයත් පහව යයි. ගංවතුර තත්ත්වය පහව යනවත් එක්කම, අපි තවත් ලොකු අවදානමකට නිරාවරණය වෙනවා කියල නිකමටවත් හිතුණ ද? වතුර ගලලා, ගෙවල් දොරවල් යටවෙලා වෙන්න ඕනෙ හරිය දැන් වෙලා ඉවරයි. නමුත් ගංවතුර තත්ත්වය පහව ගියායින් පස්සෙ, අපිට අවදානමක් ඇති කළ හැකි තත්ත්ව මොනවාද, ඒවායින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියන කරුණු පිළිබඳව දැනුවත් වෙන්න මේ තමයි හොඳම වෙලාව. දැනට සිදු වෙලා තියෙන හානිය අපිට ආපසු හරවන්න බැරි වුණත්, වෙන්න තියෙන අනතුරු, ආපදා වලින් ආරක්ෂා වෙන්න ඔබේ දැනුවත්භාවය පිටිවහලක් වේවි.


නිවෙසට ඇතුළුවන්නට පෙර


අපේ මේ කතා බහට උදාහරණයක් විදිහට අඩි 4-5 අතර ප්‍රමාණයක් ජලයෙන් යටවුණු නිවෙසක් ගනිමු. ගංවතුරට යටවුණු නිවෙසක තත්ත්වය ඔබට අමුතුවෙන් පැහැදිලි කරල දෙන්න ඕනෙ නෑනෙ... නිවෙස තුළට ජලය පැමිණීම නිසා ඔබ නිවෙසින් පිට වෙලා තාවකාලික ස්ථානයක රැඳී සිටියා නම්, අදාල ප්‍රදේශය භාර රජයේ වගකිවයුතු නිලධාරීන් ඔබ නැවත ඔබේ නිවෙස් කරා යාම ආරක්ෂිත බව තහවුරු කරන තුරු ඔබ ආපසු නිවෙසට යන්න එපා. මොකද, වතුර බැහැල ගියාට අදාල ප්‍රදේශය තවමත් පදිංචියට අනාරක්ෂිත වෙන්න පුළුවන්. කඳු බෑවුම් ආශ්‍රිත ප්‍රදේශයක් නම්, නාය යාමේ අවදානමක් තියෙන්න පුළුවන්.. විදුලි කණු කඩා වැටිල, විදුලි රැහැන් කඩා වැටිල තියෙන්න පුළුවන්. ඔබ ගංවතුරෙන් ජීවිතය බේරගත්තා.. නමුත් ගෙදර යන්න හදිසි වෙලා දුර දිග නොබලා කටයුතු කළොත් පළමු අනතුර නිසා ඇතිවිය හැකි ද්විතියික අනතුරකට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. වතුර බැහැල ගියත්  අදාල ආපදා ප්‍රදේශය භාර නිලධාරීන් ඔබව තාමත් නිවෙස් වලට යන්න නිදහස් නොකරන්නෙ, මොකක් හරි හේතුවක් තියෙන නිසයි. ඒ නිසා ඔවුන්ට අවනත වෙන්න. මෙහිදී ඔබට ඔබේ ප්‍රදේශය සම්බන්ධ තොරතුරු ලබා ගන්න පහසුම නිලධාරීන් තමයි ඔබේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීතුමා, ආර්ථික සංවර්ධන නිලධාරීතුමා, සමාජ සේවා නිලධාරීතුමන්ලා. ඔවුන් ආපදා තත්ත්වයකදී අදාල ප්‍රදේශයේ සිදුවිය යුතු සියළු කටයුතු පිළිබඳ දැනුවත්.

අදාල නිලධාරීන් ඔබ ඔබේ නිවෙස්වලට යාම ආරක්ෂිත බව දැන්වූවාට පස්සෙ ඔබට පුළුවන් ඔබේ නිවෙස් වෙත ආපසු යන්න. නමුත් තරයේ සිහි තබා ගන්න, ඔබ මේ යන්නෙ ගංවතුරකින් ආපදාවට පත්වූ ප්‍රදේශයකට. අඩියක් තිබ්බත් ඒකත් බොහොම සැලකිල්ලෙන් සහ සෝදිසියෙන් තමයි කරන්න ඕනෙ. අපි අර කලින් කිව්වා වගේ විදුලි රැහැන් කඩා වැටිල තියෙන්න පුළුවන්, වතුරත් එක්ක ආපු සතා සර්පයා ඉන්න පුළුවන්.. ඒ තියා මඩ ගොඩේ ලිස්සල වැටෙන්න හරි පුළුවන්. ඒ නිසා පාරෙ ඇවිදගෙන ගියත් බොහොම කල්පනාවෙන්. ඔබේ නිවෙස තිබෙන ස්ථානයට ආවට පස්සෙ, එක පාරම කඩාගෙන බිඳගෙන ගෙදරට ඇතුල්වෙන්න එපා. ඉස්සෙල්ලාම හොඳ සෝදිසියෙන් වත්ත වටේ, ගෙදර වටේට රවුමක් දාල බලන්න. ඒ යන අතරතුරේ ඉස්සෙල්ලාම බලන්න ඕන දෙයක් තමයි ඔබේ නිවෙසට විදුලිය සපයන ප්‍රධාන විදුලි රැහැන ඔබ නිවෙසින් පිට වෙද්දි තිබුණා වගේම නිරුපද්‍රිතව අදාල සම්බන්ධකයට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. එහෙම සම්බන්ධ වෙලා තියෙනවානම්, ඔබට වත්ත පිටියේ ඇවිදින්න බයක් නෑ. මොකද ප්‍රධාන විදුලි සැපයුම් රැහැනෙන් වත්තෙ වැටට, ගේට්ටුවට, යකඩෙකට, ජලයෙන් තෙත්වුණු ඕනෙම දේකට විදුලිය කාන්දු වීමේ අවදානම අඩුයි. බැරිවෙලාවත් යම් හේතුවක් නිසා ඔබේ නිවෙසේ ප්‍රධාන විදුලි සැපයුම් රැහැන කඩා වැටිලා නම්, වහාම සොයා බලන්න අදාල ප්‍රදේශයේ සමස්ථ විදුලි සැපයුම විදුලි බල මණ්ඩලයෙන් විසන්ධි කරල ද කියල. එහෙම විසන්ධි කරලා නම්, ගැටළුවක් නෑ. නමුත් මතක ඇතුව ඒ නිලධාරීන් දැනුවත් කරන්න ඔබේ ප්‍රධාන විදුලි රැහැන කඩා වැටී ඇති බව. මේ ප්‍රධාන විදුලි රැහැන විදුලි බල මණ්ඩලයේ දේපලක් නිසා, ඔබට අයිතියක් නෑ එය අළුත්වැඩියා කරන්න. 

දැන් ඔබ නිවෙස වටේ ඇවිදින අතරෙ කල්පනාවෙන් පරික්ෂා කරල බලන්න ඔබේ නිවසේ බිත්ති. ඔබේ නිවසේ බිත්ති වල පිහිටීම, ස්වභාවය ගැන ඔබට අවබෝධයක් තියෙනවනේ. හොඳින් පරික්ෂා කරල බලන්න, යම් බිත්තියක ඇලවීමක්, අධික පෙඟීමකට ලක්වීමක්, කඩා වැටීමක් තියෙනවද කියලා. ඒ අතරම නිවසේ වහලය පරික්ෂා කරන්න. සුළඟට ගස්වල අතු වැටිලා වහලයට හානි වෙලා තියෙන්න පුළුවන්. උළු කැට, ඇස්බැස්ටස් සීට්, තහඩු, එල්ලෙමින් තියෙන්න පුළුවන්. ඔබ නිවසට ඇතුල්වුණාට පස්සෙ, ඒවා ඔළුවට කඩා වැටෙන එකක් නෑ කියල කාටද කියන්න පුළුවන්? ඒ නිසා එහෙම සැකයක් තියෙනවානම් නිවෙසට ඇතුල්වෙන්න එපා. ඒ හානි වූ තත්ත්වයන් පිළිබඳව ඔබේ පවුලේ අනෙක් සාමාජිකයින් දැනුවත් කරන්න. විශේෂයෙන්ම ඔබේ වාසස්ථානය ආරක්ෂිතව නැවත සකස් කරගන්නා තෙක්, කුඩා දරුවන් ඒ ස්ථානයට රැගෙන එන්න එපා. මොකද ඔබ ඇසිපිය හෙලන සැනින් ඔවුන් අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඔබේ වත්තේ ළිඳ (තියෙනවානම්), වැසිකිළිය, වැසිකිළි වල ඔබ අනිවාර්යයෙන් පරික්ෂා කළ යුතු දේවල්. වැසිකිළිය, වැසිකිළි වල උතුරල නම් එය පිළිසකර කරන තුරු අදාල අවශ්‍යයතා සඳහා විකල්පයක් සොයා ගන්න වෙනවා. මේ මූලික පරික්ෂාවට ඔබට වැඩිම වුණොත් විනාඩි 10ක් යයි. නමුත් ඒ විනාඩි 10 ගත කිරීමෙන් ඔබ ජීවිත කාලයම විඳවන්න හේතුවෙන සාධකයක් නැති කරගත් බව මතක තියාගන්න. නිවෙස තුලට ඇතුල්වීමෙන් ඔබට හානියක් සිදුවෙන්නෙ නෑ කියල තහවුරු කරගත්තට පස්සෙ, ඔබට පුළුවන් වඩාත් ආරක්ෂිතම ස්ථානයෙන් නිවෙසට ඇතුල් වෙන්න. එක්වරම නිවෙස ඇතුලටම යන්න එපා.. දොරක් හෝ ජනේලයක් විවෘත කරල, හැකි ඉක්මනින් නැවත එළියට එන්න. විනාඩි 5-10 ක් නිවෙස තුළට පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. ඉන්පසුව නිවෙසට ඇතුල් වෙලා, සියළුම ජනෙල් දොරවල් විවෘත කරන්න. නිවෙස වටා පරික්ෂා කරන වෙලාවේදි ඔබ දුටු ආපදාවට ලක්වුණු තැන් පිළිබඳව ඔබේ පවුලේ අනෙක් සාමාජිකයින් දැනුවත් කරන්න. එතකොට ඒ අයත් අදාල ස්ථාන වලට යාමෙන් වළකියි. 

නිවෙසට ඇතුල්වුණු ගමන් බොහොම පරික්ෂාවෙන් ඔබේ නිවසේ ප්‍රධාන විදුලි පුවරුව (ෆියුස් බෝඩ් එක කියන්නේ) වෙත ගිහින්, ප්‍රධාන විදුලි ස්විචය ක්‍රියා විරහිත කරන්න. එතකොට කාටහරි අමතක වීමෙන් හරි ප්ලග් එකක්, විදුලි බල්බයක් ක්‍රියාත්මක කරන්න ගිහින් අනතුරක් සිදුවෙන එක වැළකෙනවා. මතක තියාගන්න, ඔබේ නිවෙස අඩි භාගයකට වඩා ජලයෙන් යට වෙලා තිබුණා නම් පළපුරුදු විදුලි කාර්මිකයෙක් ලවා නිවසේ සම්පූර්ණ විදුලි පද්ධතිය පරීක්ෂා කර, පිළිසකර කරන තුරු කිසිදු විදුලි උපකරණයක් ක්‍රියාත්මක කිරීම තහනම්. ඔබ සොයා බලන්නෙ නැතුව ඒවා ක්‍රියාත්මක කරන්න ගිහින් බැරිවෙලාවත් ප්ලග් ඇතුලෙ එහෙම වතුර තිබිල විදුලි කාන්දුවක් සිදු වුණොත් වෙන්නෙ ලොකු විනාශයක්. වතුරත් එක්ක ආපු මඩ ඔබේ නිවසේ සිමෙන්ති/ ටයිල් පොළොව මත තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා සෝදා ඉවත් කරන තුරු ගේ ඇතුලේ ඇවිදින්නෙ බොහොම පරිස්සමෙන්. ලිස්සලා වැටිල කොඳු, අත පය කඩාගන්න එපා. 


නිවෙස පිරිසිදු කිරීම

ගංවතුරට යටවුණු නිවෙසක තත්ත්වය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. අනික, ගංවතුර තත්ත්වයකදී ගලායන ජලයේ නැති දෙයක් නෑ.. තියෙන්න ඕනෙ හැම දෙයක්ම තියෙනවා. කුණු බක්කිවල කුණු, ගස්, මුල්, කොළ, වැසිකිළි අපද්‍රව්‍ය ඔය හැම එකක්ම ගංවතුර ජලයේ යහමින් අඩංගුයි :) . ඒ නිසා ගංවතුර තත්ත්වයකින් පස්සෙ නිවෙස් පිරිසිදු කිරීම කියන්නෙ ඇත්තටම අභියෝගයක්. 

මුලින්ම, නිවෙස තුළ තියෙන ගෘහ භාණ්ඩ ඉවතට ගන්න. ඒවා ගේ ඇතුලෙ තියාගෙන මේ පිරිසිදු කිරීමේ කටයුත්ත හරියට කරන්න බෑ. ඒවා ගෙයින් එලියට අරගෙන එක් ස්ථානයක පිළිවෙළට තියන්න. දැන් ඔබට පුළුවන් කෙළවරක ඉඳන් වැඩේ පටන් ගන්න. මඩ ඉවත් කිරීමේදී වැඩි වතුර ප්‍රමාණයක් පාවිච්චි කරල මඩ සෝදා හරින්න උත්සාහ කරන්න එපා. එහෙම කළොත් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට වැඩිපුර මඩ ඇතුළු අපද්‍රව්‍ය පැතිරී යන්න පුළුවන් වගේම ඔබ ලිස්සල වැටෙන්නත් පුළුවන්. ඒ නිසා සවලකින් සූරා හැරීම හෝ, ඔබේ ගෙබිමේ ස්වභාවය මත (ටයිල් ද, සිමෙන්ති ද, කොන්ක්‍රීට් ද ) වෙනත් සුදුසු ක්‍රමයක් යොදාගන්න පුළුවන්. වැඩි තරමක් මඩ ඉවත් කළාට පස්සෙ ඔබට පුළුවන් ජලය වැඩිපුර පාවිච්චි කරමින් හොඳින් පිරිසිදු කරන්න. පළමු වර එලෙස ජලයෙන් පිරිසිදු කළාට පසු, නිවසේ සෑම මතුපිටක්ම (බිත්ති, පොළොව ) ක්ලෝරීන් ( මේ ක්ලෝරීන් ඔබට හාඩ්වෙයාර්, ෆාමසි, ඇතුළු ස්ථාන බොහොමයකින් පෙති, කුඩු සහ දියර යන ආකාර තුනෙන්ම ලබා ගන්න පුළුවන් ) යොදා පිරිසිදු කළ යුතුයි. මෙහිදී ජලය ගැලුමකට ක්ලෝරීන් කෝප්ප 1/4 ක් මිශ්‍ර කර සාදාගත් පිරිසිදුකාරකය පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෝරීන් වෙනුවට ඔබට වෙළඳපොලේ පවතින අනෙකුත් පිරිසිදුකාරක වුණත් භාවිතා කරන්න පුළුවන්.




ගෘහ භාණ්ඩ පිරිසිදු කිරීමේදී ඉතින් ඒ ඒ භාණ්ඩයේ ස්වභාවය අනුව විවිධ ක්‍රම භාවිතා කරන්න සිදු වෙනවා. ඔබ භාවිතයට ගන්න පිඟන් කෝප්ප ආදිය ඉතාම සැලකිල්ලෙන් පිරිසිදු කළ යුතු වෙනවා. මොකද ඒවා අපි ආහාර පාන ගැනීම සඳහා පාවිච්චි කරන දේවල් නිසා, ඒ හරහා විෂබීජ ශරීරගත වීමේ හැකියාව ඉතා ඉහළයි. උණුසුම් ජලය ලීටර් 4කට ක්ලෝරීන් මේස හැඳි 2ක් මිශ්‍ර කර සාදාගත් ද්‍රාවණයේ විනාඩි 10ක් පමණ තැබීමෙන් ප්ලාස්ටික්, පෝසිලේන් වැනි භාණ්ඩ විෂබීජහරණය කර ගත හැකියි. ඇලුමිනියම්  සහ ලෝහමය භාණ්ඩ නටන ජලයේ විනාඩි 10ක් තම්බා ගැනීමෙන් විෂබීජහරණය කරගන්න පුළුවන්.


බෝවන රෝග වලට වැට බඳිමු


ගංවතුර වගේ ස්වාභාවික ආපදාවකින් පස්සෙ අපි මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් තමයි බෝවන රෝග. සීමාවකින් තොරව හැමතැනම ගලා යන අපද්‍රව්‍ය සහිත ජලය නිසා අපි හැමෝම විෂබීජ වලට නිරාවරණය වෙලයි තියෙන්නෙ. ගංවතුර තත්ත්වයක් නිසා සුලබව ඇතිවිය හැකි පාචනය වගේ බෝවන රෝගකාරක විෂබීජ අපේ ශරීරයට ඇතුල්විය හැකි ආකාර තමයි පහත රූපයේ පෙන්වන්නෙ.





රූපය දිහා බැලුවම ඔබට පේනවා ඇති,  විෂබීජ ශරීරගත විය හැකි ආකාර 5ක්. අපිරිසිදු දෑත් වලින් අපේ ඇස්, නාසය, මුඛය, සම වැනි ස්ථාන ස්පර්ශ වීමෙන් විෂබීජ ශරීරගත වෙන්න පුළුවන්. විෂබීජ තැනින් තැන රැගෙන යන ප්‍රධාන රෝග වාහකයෙකු වන මැස්සන් ස්පර්ශ වූ ආහාර පාන මගින්, අපිරිසිදු වූ ස්ථානවලින්/වගාවන් වලින් ලබා ගත් ආහාර මගින්, අපිරිසිදු ජලය මගින් මේ රෝගකාරක විෂබීජ අපේ ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම ඒ එක් එක් අවස්ථා එකිනෙක සම්බන්ධවන හැටිත් ඔබට ඒ රූපයේ පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැන් බලන්නකෝ පහල රූප සටහන. 




රෝගකාරක විෂබීජ ඇතිවෙන එක අපිට වළක්වන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් ඒ විෂබීජ ශරීරගත වෙන එක වළක්වන්න. මේ රූපයේ තියෙන්නෙ, රෝගකාරක විෂබීජ ශරීරගත වෙන එක වැළැක්විය හැකි ආකාර.

A. විෂබීජ අත්වල තැවරීම වැළැක්වීමෙන්, බාහිර පරිසරයට නිරාවරණය වීම වැළැක්වීමෙන් (එතකොට මැස්සොන්ට වහන්න බෑනෙ ), වගාවන්ට සහ ජලයට මිශ්‍ර වීම වැළැක්වීමෙන් අපිට පුළුවන් ප්‍රාථමික අවස්ථාවේදීම මේ විෂබීජ අපේ ශරීරයට ඇතුල්වෙන එකෙන් වළක්වන්න.

B. අපිරිසිදු දෑත් වලින් ආහාර පිළියෙල කිරීමෙන් වැළකීමෙන්, එළවළු/ පලතුරු ආදිය හොඳින් පිරිසිදු කර ආහාරයට ගැනීමෙන් සහ අපිරිසිදු එළවළු ආදිය පිසීමට ගැනීමෙන් වැළකීමෙන්, අපවිත්‍ර ජලය ආහාර පාන පිසීමට හෝ කෙලින්ම පානය කිරීමට යොදා නොගැනීමෙන් අපිට පුළුවන් තවත් අවස්ථාවකදී විෂබීජ ශරීරගත වීම වළක්වන්න.

C. අපිරිසිදු දෑත් වලින් ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීමෙන්, ආහාර නිසි පරිදි පිස ගැනීමෙන්, පිරිසිදු ජලය පමණක් පානය කිරීමෙන් අපට පුළුවන් අවසාන වතාවටත් විෂබීජ වලට බාධකයක් යොදන්න. 





මතක තියාගත යුතු වැදගත්ම කරුණ තමයි, මේ එක් අවස්ථාවකදිවත් විෂබීජ වලට වැට බඳින්න අපිට නොහැකි වුණොත්, විෂබීජ අපේ ශරීරගත වෙන එකත් වළක්වන්න බෑ.

මේ රූප සටහන දිහා අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි පිරිසිදු ආහාර, ජලය සහ පිරිසිදු දෑත් මගින් ලෙඩ රෝග බෝවීම සෑහෙන දුරට අඩු කරන්න පුළුවන් බව. පිරිසිදු ජලයට වර්ණයක්, රසක්, ගන්ධයක් නැහැ. නමුත් ගංවතුර වගේ තත්ත්වයකදී අදාල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලින් ලබා ගන්නා ජලය, පරිහරණයට සුදුසු ජලය බවට අපිට සහතික වෙන්න පුළුවන්ද? හිතන්නවත් බෑ නේද? අන්න ඒ නිසාම, රෝගකාරක විෂබීජ ශරීරගත වීමේ මූලික ආකාරයක් වන අපිරිසිදු ජලය කියන සාධකය මේ අවස්ථාවේදී ඉහළින්ම තියෙනවා. ඒ වගේම සීමාවක් නැතුව ගලා යන ජලය නිසා, අපද්‍රව්‍ය සෑමතැනම ව්‍යාප්ත වෙනවා.

ජලය පිරිසිදු කරගන්නා අයුරු


පිරිසිදු ජලය කියන්නෙ මිනිසුන් නිරෝගීව තැබීමේ ප්‍රධාන සාධකයක්. විශේෂයෙන්ම ස්වභාවික ආපදා තත්ත්වයකදී එය අතිශය තීරණාත්මකයි. ජලය එහි මූලාශ්‍රයේදී, ගබඩා කර තබන ස්ථානයේදී හෝ ඒ අතරමැද ඕනෑම ස්ථානයකදී අපිරිසිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ජලය ලබා ගන්නා මූලාශ්‍රය, ජලය ඔබ වෙත පැමිණෙන ආකාරය විශ්වාසදායක වීම වැදගත්. සාමාන්‍යයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නළ මාර්ගයෙන් හෝ බවුසර් මගින් බෙදා හරින ජලය පරිභෝජනයට සුදුසු විදිහට පිරිපහදු කරලයි තියෙන්නෙ. නමුත් ගංවතුර තත්ත්වයකදී, ජල සම්පාදන මණ්ඩලයෙන් පිරිපහදු කර මුදාහරින ජලය රැගෙන යන නළ මාර්ග අපවිත්‍ර ජලයට යට වෙලා කොයි යම් හෝ ආකාරයකින් විෂබීජ එක්කාසු වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඔබ ජල සම්පාදන මණ්ඩලය මගින් බෙදා හරින නළ ඔස්සේ එන ජලය පරිහරණය කරන කෙනෙක් නම්, ඉස්සෙල්ලාම පොඩ්ඩක් සෝදිසි කරල බලන්න මණ්ඩලය මගින් මේ වනවිට ජල නළ නැවත පිළිසකර කරලද, ඒවායින් එන ජලය බීමට සුදුසුද කියලා. අදාල නිලධාරීන් ඒ ජලය බීමට සුදුසු බව තහවුරු කරනවා නම්, ඔබට බයක් නැතුව නළ ජලය භාවිතා කරන්න පුළුවන්.

නමුත් ඔබ භාවිතා කරන්නේ  ළිං ජලය නම්, ගංවතුර තත්ත්වයෙන් පස්සෙ අනිවාර්යයෙන්ම ළිඳට ක්ලෝරීන් දාලා ( ක්ලෝරීන් දැන් ඔබට බොහොමයක් වෙළෙඳසැල්, හාඩ්වෙයාර්, ෆාමසි ආදියෙන් ලබා ගන්න පුළුවන්. ක්ලෝරීන් මිශ්‍ර කළ යුතු පරිමාවන් සහ ක්‍රමවේදය ගැන ඔබට දැනගන්න පුළුවන් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්, රතු කුරුස කාර්යාලයෙන් සහ ළිං පිරිසිදු කිරීම සඳහා පැමිණෙන තාක්ෂණික ශිල්පීන්ගෙන් ) ළිඳ සම්පූර්ණයෙන්ම ඉහල පිරිසිදු කරන්න ඕනෙ. එහෙම නැතුව නාන්න, හෝදන්නවත් ඒ ජලය ගැනීම සුදුසු නෑ.

කොහොම නමුත් ඔබට පරිභෝජනයට සුදුසු ජලය පිළිබඳව සැකයක් ඇති ඕනෑම අවස්ථාවක පහත ක්‍රම අනුගමනය කිරීම මගින් පරිහරණය සඳහා සුදුසු ලෙස ජලය පිරිපහදු කරගන්න පුළුවන්.

1. පෙරීම


ජලය පිරිපහදු කිරීමේ වැදගත් පළමු පියවර ලෙස පෙරීම හඳුන්වන්න පුළුවන්. පෙරීම මගින් ඔබ යම්කිසි මූලාශ්‍රයකින් ලබා ගන්නා මඩ පැහැති, අවශේෂ ද්‍රව්‍ය අඩංගු ජලය, මඩ සහ අනෙකුත් ඝණ අපද්‍රව්‍ය වලින් තොර ජලය බවට පත් කරගන්න පුළුවන්. මේ සඳහා පිරිසිදු, තරමක් ඝණ කපු රෙදි කැබැල්ලක් තමයි අපි පාවිච්චි කරන්නෙ. මේ රෙදි කැබැල්ල හරහා ජලය පෙරී යනකොට එක පාරටම පෙරිලා යන්නෙ නැතුව, සෙමින් සහ මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය රෙදි කැබැල්ල මත ඉතිරි කරමින් පෙරිල යනවනම් එය සාර්ථක පෙරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පෙරීම සිදු කරන අතරතුර වරින් වර කපු රෙදි කැබැල්ල සේදීමෙන්, පෙරීම වඩාත් කාර්යක්ෂම කරගන්න පුළුවන්. කොහොම වුණත්, මේ පෙරීම මගින් කෙලින්ම පානය කිරීමට හෝ ආහාර පිසීමට සුදුසු මට්ටමේ ජලය නම් ලැබෙන්නෙ නෑ. මෙමගින් සිදු වෙන්නෙ, ඉදිරියට අපි කතා කරන ජලය පිරිපහදු කිරීමේ අනෙකුත් පියවරයන් පහසු කිරීම පමණයි.

2. විෂබීජහරණය


මේ පියවරේදී අපි මූලාශ්‍රයෙන් ලබාගෙන පෙරාගත් ජලයේ තිබිය හැකි විෂබීජ ඉවත් කිරීම සිදු කරනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් භාවිතා කළ හැකියි.

නටන තෙක් උණු කිරීම : මෙමගින් ජලයේ ඇති සියළුම රෝගකාරක විෂබීජ පාහේ ඉවත් කරගත හැකියි. ජලය නිසි පරිදි උණු කිරීම කියල කියන්නෙ, බුබුළු දමමින් නටන තත්ත්වයේ විනාඩි 3ක් පමණ උණු කර ගැනීම. එහෙම නැතිවුණොත් විෂබීජ සියල්ලම විනාශ වෙන්නෙ නෑ.


SODIS ක්‍රමවේදය : පෙරා පිරිසිදු කරගත් ජලය ප්ලාස්ටික් හෝ වීදුරු බෝතලයක දමා පැය 5ක කාලයක් සෘජු සහ දැඩි හිරු එළියට නිරාවරණය කිරීමෙන් අපිට පානය කිරීමට පවා සුදුසු ලෙස ජලය පිරිපහදු කරගත හැකියි. ජලය අවපැහැති නම් හිරු එළියට නිරාවරණය කළ යුතු කාලය දෙගුණ කළ යුතු බව මතක තබා ගන්න.




රසායනික විෂබීජහරණය : පෙරාගත්තු ජලය ලීටර් 20ක් බඳුනකට පුරවා ඊට ක්ලෝරීන් පෙත්තක් හෝ ක්ලෝරීන් කුඩු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරන්න. බඳුන වසා, විනාඩි 30ක් තබන්න. දැන් ඔබට ඒ ජලය බීමට ගන්න පුළුවන්. ඔබ බඳුනට දැමුවේ අවපැහැ ජලය නම්, ක්ලෝරීන් පෙති 2ක් හෝ ක්ලෝරීන් කුඩු තේ හැඳි 2ක ප්‍රමාණයක්  එකතු කරන්න. 

ඉතින් මේ ආකාර වලින් පුළුවන් ගංවතුර වගේ ආපදා තත්ත්වයකදී වුණත් පරිහරණයට සුදුසු ආකාරයෙන් ජලය පිරිපහදු කරගන්න. තව නොයෙක් ආකාර තිබුණත් ඔබට ප්‍රායෝගිකව පහසුවෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම විතරයි අපි සාකච්ඡා කළේ.අපි කොච්චර මහන්සි වෙලා ජලය පිරිසිදු කරගත්තත් වැඩක් නෑ ඒ පිරිසිදු කරගත්තු ජලය නිසි පරිදි ගබඩා කලේ නැත්තන්. ඒ නිසා ජලය ගබඩා කරගැනීමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. හැමතිස්සෙම පිරිසිදු බෝතල්, භාජන ආදිය භාවිතා කරන්න. 

විශේෂයෙන්ම ගංවතුර වගේ ආපදා තත්ත්වයකදී තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වීම ඉතා ම වැදගත්. ආපදා තත්ත්වය නිසා දැනටමත් ඔබට දේපල හානි, පාඩු හුඟක් වෙලා ඇති. තමුන්ගෙ නොසැලකිල්ල නිසා රෝගී වෙලා ඒ පාඩුව තවත් වැඩි කරගන්න ඕන නෑනෙ නේද? ඒ නිසා හැමවිටම තමුන්ගෙ සහ පවුලේ අයගේ සනීපාරක්ෂාව ගැන හිතන්න. 

විශේෂයෙන්ම ගංවතුර අවස්ථාවකදී සීග්‍රයෙන් ව්‍යාප්තවන සුලබ රෝගයක් තමයි මී උණ කියන්නෙ. ඒ නිසා ඔබේ අත් පා වල තුවාල තියෙනවානම් ඒවා හොඳින් ආවරණය කර ගැනීම සහ හැකිතාක් අපිරිසිදු ජලයේ ගැටීමෙන් වැළකී සිටීම ඉතා වැදගත්. මී උණ සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ ප්‍රතිකාර සඳහා ළඟම ඇති සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා සම්බන්ධ වෙන්න. 

ගංවතුරෙන් ගෙවල් යටවුණාට පස්සෙ ඔබ තාවකාලික වාසස්ථානයකට ගිහින් හිටියනම් ඒ ඉන්න ඇත්තෙ එක්කො පන්සලේ, එහෙම නැත්තන් ළඟම තියෙන ඉස්කෝලෙ, ප්‍රජා ශාලාවේ. මේවා ඔක්කොම පොදු ස්ථාන. ඔබ අසරණ වෙච්ච වෙලාවෙ ඔබට පිහිට වෙන්නයි ඒ ස්ථානවල ඉන්න ඔබට පහසුකම් සලසල දීල තියෙන්නෙ. ඒ නිසා වතුර බැහැල ගියාට පස්සෙ ඔබ ආපහු ඔබේ නිවෙසට යද්දි ඔබ දවස් කිහිපයක් හෝ රැඳී සිටි, ඔබට සෙවණ දුන් ස්ථානය පිරිසිදු කරල යන්න. ඒක ඔබ අසරණ වූ වෙලාවෙ ඔබට සෙවණ දුන් ස්ථානයට කරන ගෞරවයක්, කෘතගුණ සැලකීමක් වගේම ඔබේ මහත්මා ගතිය ප්‍රදර්ශණය වීමක්.

සමහර විට මේ අවාසනාවන්ත ආපදා තත්ත්වය නිසා ඔබට ඉතුරු වෙලා තියෙන්නෙ ඇඳිවත විතරක් වෙන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න, මිනිසා කියන්නෙ පුදුම සත්ත්වයෙක්. පණ කෙන්ද විතරක් රැකුණනම්, අනෙකුත් සියළුම දේවල් නැවත ගොඩනගා ගැනීමේ අරුම පුදුම හැකියාවත් තියෙන සත්ත්වයෙක් තමයි මිනිසා කියන්නෙ. ඒ නිසා, මුලින්ම තමන් ගැන විශ්වාසය ගොඩ නගාගන්න, ඔබ ශක්තිමත් වෙන්න. ලෙඩ රෝග වලින් වැළකිලා ඉන්න. එහෙම වුණොත් ඔබට, අපිට පුළුවනි මේ ආපදා තත්ත්වය පහව ගිය වහාම, නැතිවූ සියළු දේවල් නැවත ගොඩ නගන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ නිරෝගී සුව ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ප.ලි. : සමහරු තර්ක කරයි අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට කොහෙන්ද අන්තර්ජාලයේ තියෙන මේ ලිපිය බලන්න විදිහක් කියල.. ඒ උදවියට කියන්න තියෙන්නෙ, මෙතෙක් ලොව පහල වූ සාර්ථකම, කල් පවතිනම සන්නිවේදන ක්‍රම තමයි කට වචනය සහ ඕපාදූප !

සැකසුවේ : දුමින්ද සංජීව - ප්‍රථමාධාර උපදේශක (ශ්‍රී ලංකා රතු කුරුස සමාජය - අනුරාධපුර ශාඛාව )

විශේෂ ස්තුතිය - ජයබුද්ධි ඥානතිලක මහතා ( ජ්‍යේෂ්ඨ ප්‍රථමාධාර උපදේශක )







Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?