ප්‍රථමාධාර යනු කුමක්ද?

ආයුබෝවන් ! කොහොමද කට්ටිය හොඳින් නේද? පොරොන්දු වුණා වගේම ඔන්න අදත් අපි ආවා අළුත් ලිපියක් අරගෙන. මේ, "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" ලිපි මාලාවේ තුන්වැන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රථමාධාර කියන්නෙ මොකක්ද? කියන මාතෘකාව සම්බන්ධයෙන්. කලින් ලිපියෙදි අපි කිව්වා තුන්වැනි ලිපියෙන් අපි කතා කරන්නෙ ප්‍රථමාධාර යනු කුමක්ද? ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම මොකක්ද යන කරුණු ගැන කියලා. නමුත් මේ ලිපියත් සෑහෙන්න දිගයි කියල හිතුණු නිසා අපි තීරණය කළා ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය ගැන ඉදිරි ලිපි වලින් කතා කරන්න.  පහුගිය ලිපි වලදි අපි කලේ වටපිටාව ගොඩනගපු එක. අද ඉඳන් අපි ටිකෙන් ටික ප්‍රථමාධාර කියන විෂය තුළ ගැඹුරට ගමන් කරනවා. ඒ අනුව මේ ලිපිය සහ ඉදිරි ලිපි 2 හෝ 3 වෙන් වෙන්නෙ ප්‍රථමාධාරයේ මූලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න.

ප්‍රථමාධාර යනු කුමක්ද?


ප්‍රථමාධාර කියන වචනෙ අහපු ගමන්ම ඔයාලගෙ හිතට එන්නෙ මොකක්ද? "ඉස්සෙල්ලාම දෙන ආධාරය ප්‍රථමාධාර" වගේ දෙයක්ද? එහෙමත් නැත්තන් "අනතුරක් සිදුවුණ වෙලාවක ලබාදෙන ආධාරය" වගේ දෙයක්ද? ඔය කියපු හැම කතාවකම ගත යුත්තක් තියෙනවා. හැබැයි අපි කාටහරි නිව්ටන්ගේ පළමු නියමය කියන්න කිව්වම, අපිට ඕනෙ ඕනෙ විදිහට වචන දාලා කියලා හරි යන්නෙ නෑනෙ නේද? නියමය මගින් කියවෙන්න ඕනෙ දේ හරියට මුල මැද අග අඩුපාඩු නැතුව සඳහන් වෙන්න ඕනෙ. අන්න ඒ වගේම ප්‍රථමාධාර වලටත් තියෙනවා හරි අපූරු නිර්වචනයක්. බලන්නකෝ මේක මීට කලින් අහල තියෙනවද කියලා..

"ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි."

අපි සාමාන්‍යයෙන් රෝහල්ගත වෙන්නේ, එහෙමත් නැත්තන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ කොයි වෙලාවටද? ගෙදර නිකන් වාඩිවෙලා තේ එකක් බිබී ඉන්න ගමන් "හුඟ දවසකින් දොස්තර මහත්තයව දැක්කෙත් නෑ අප්පා.. යන්න ඕනෙ බලල සල්ලි කීයක් හරී දීල එන්න" කියල හිතිල අපි බෙහෙත් ගන්න යන්නෙ නෑනෙ නේද? අපි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ එක්කෝ අපිට මොකක් හරි ලෙඩක් හැදුනම, එහෙම නැත්තන් යම් අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන්නම. අපිට ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙත් ප්‍රධාන වශයෙන්ම ඔන්න ඔය වෙලාවටම තමයි. අපි පාරෙ හොඳ අපූරුවට ඇවිදගෙන යන මනුස්සයෙක්ව ඇදගෙන ගිහින් "ආනේ.. මම ප්‍රථමාධාර කරන්නම් ඔයාට.. මම දන්නව ප්‍රථමාධාර" කියල ප්‍රථමාධාර දෙන්න යන්නෙ නෑනෙ.. එහෙම කරන්න ගියොත් ටික වෙලාවකින් තව කාටහරි ඇවිත් ඔයාට ප්‍රථමාධාර දෙන්න වෙයි. එහෙනම්, යම් කෙනෙක් වෙනුවෙන් ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙ එක්කෝ යම් හදිසි අනතුරකදී, එහෙම නැත්තන් රෝගී තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවකදී.

දැන් කවුද එතකොට මේ ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්නෙ? හැමෝටම ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවානම් අපි මෙහෙම අපේ කාලය, ශක්තිය වැය කරලා "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" කියල බ්ලොග් එකක් පටන් ගන්න ඕන නෑනෙ. ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න නම් ප්‍රථමාධාර සම්බන්ධයෙන් මනා දැනුමක් සහ කුසලතාව තියෙන්නම ඕනෙ. ගම් නගර වල ඉන්න අපේ ජනතාවට ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් කරන්න ගියාම අපි දකින දෙයක් තමයි, අපේ 80% ක් විතර මිනිස්සු ප්‍රථමාධාර කියල කරන්නෙ, ඒ රෝගියාට කරන්න සුදුසුම නැති දේවල්. ප්‍රථමාධාර කියලා හිතාගෙන වැරදි දෙයක් කරල ලෙඩාගෙ ජීවිතේ තවත් අනතුරේ දානවට වඩා හොඳයි මොකුත් නොකර ඉන්න එක. ඒ නිසා ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන කෙනාට ප්‍රථමාධාර පිළිබඳව මනා දැනුමක් සහ පුහුණුවක් තිබීම අනිවාර්යයි. ඒ වගේ පුද්ගලයෙක්ව තමයි අපි "පුහුණු ප්‍රථමාධාරකරුවෙක්" කියල හඳුන්වන්නේ. එහෙනම් හදිසි අනතුරකදී හරි රෝගී අවස්ථාවකදී හරි ප්‍රථමාධාර කරන්නෙ කවුද? පුහුණු ප්‍රථමාධාරකරුවෙක්. පැහැදිලියි නේද?

හොඳයි.. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට කේක් එකක් (කන්න පුළුවන් එකක් හොඳේ ) හදන්න කියල කිව්වොත්, ඔබ කොහොමද වැඩේ කරන්නෙ? ඉස්සෙල්ලාම අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සෙ භාජනයක් අරගෙන ඒකට මාගරින් ටික දාලා, බීට් කරනවා. ටික වෙලාවකින් සීනි ටිකත් එකතු කරලා, මාගරින් සහ සීනි ටික හොඳට කලවම් වෙනකම් බීට් කරනවා. මිශ්‍රණයේ සීනි ටික හොඳට දිය වුණාට පස්සෙ බිත්තර එකතු කරනවා. ඒ ටික නිසි පදමට කලවම් වුණාට පස්සෙ, වැනිලා සහ අවශ්‍ය නම් වර්ණකාරක එකතු කරනවා. ඊට පස්සෙ, කේක් තැටිය අරගෙන මාගරින් ටිකක් එහෙම තවරලා, අර සකසා ගත් කේක් මිශ්‍රණය තැටියට දාලා, නියමිත උෂ්ණත්වයේ බේක් කරගන්නවා. සරලව ඔහොමනේ කරන්නෙ නේද? හිතන්න, බැරි වෙලාවත් ඔබට සීනි එකතු කරන්න අමතක වුණොත්, කේක් එක බේක් වෙලා ඉවර වුණාට පස්සෙ සීනි දාන්න පුළුවන්ද? සීනි ටිකක් අතේ කකා තමයි කේක් කන්න වෙන්නෙ. අන්න ඒ වගේ තමයි, ප්‍රථමාධාර එහෙම ආවට ගියාට ක්‍රියාත්මක කරන්න බෑ. වෛද්‍යවරු, විද්‍යාඥයෝ එයාලගෙ පරීක්ෂණ වලින් හොයාගත්තු දේවල් අනුව සම්මත කරපු ක්‍රමවේද සහ න්‍යායයන් තියෙනවා. ඒ ටික නියම විදිහට අනුගමනය කළොත් විතරයි ප්‍රථමාධාර කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කේක් එක නම් අවුල් ගියොත් විසි කරන්න පුළුවන්. නමුත් ජීවිතයක්??? හොඳට මතක තියාගන්න, වැරදි දෙයක් කරලා රෝගියාගේ ජීවිතයට හානියක් වුණොත් ඒකට වග කියන්න වෙන්නෙ ඒ කරපු කෙනාටයි. ඒ නිසා, ප්‍රථමාධාරයේදී පිළිගත් ක්‍රමවේද සහ න්‍යායයන් අනුගමනය කිරීම ඉතා වැදගත්.


ප්‍රථමාධාර පුහුණු කිරීම් වලදි නම් අපි විවිධාකාරයේ උපකරණ, විශේෂිත වෙළුම් වර්ග යොදා ගනිමින් ඒවා පාවිච්චි කරන ආකාරය කියලා දෙනවා. හැබැයි රිය අනතුරක් වෙන්නේ ගේ ඇතුලෙද? රෝගී තත්ත්වයක් ඇති වෙන්නෙ රෝහලේ වාට්ටුව ඇතුලෙද? හැම වෙලාවකදිම අපිට ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නෙ අපි ජීවත් වෙන සාමාන්‍ය පරිසරයේ. පුහුණු කිරීම් වලදි අපි පෙන්වනවා අත පැනපු රෝගියෙකුට ත්‍රිකෝණ වෙළුම් පටියක් යොදාගෙන උරමාවක් දාන ආකාරය. හැබැයි ඔය අත පනින හැම තැනකම ත්‍රිකෝණ වෙළුම් පටි තියල තියෙනවද "ආ බැරි වෙලාවත් අත පැන්නොත් ප්‍රයෝජනයට ගන්න" කියලා? ප්‍රථමාධාරකරුවෙක්ට හැකියාව තියෙන්න ඕනෙ ඒ වෙලාවෙ අවට පරිසරයේ තියෙන සුදුසුයි කියල හිතෙන දෙයක් පාවිච්චි කරලා අර ත්‍රිකෝණ වෙළුම් පටියෙන් කරන දේම කරන්න. අන්න ඒකට තමයි දැනුම + කුසලතාව අවශ්‍ය වෙන්නෙ. 

දැන් ඔය ඉහළින් සඳහන් කරපු හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරන්නෙ රෝගියාට වෛද්‍යාධාර ලබාදෙන්න කලින්. අපේ අරමුණ තමයි, රෝගියාට වෛද්‍යාධාර ලබාදෙනකම් රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරන එක. හැබැයි මේ ආධාරය තාවකාලිකයි. අපේ මේ ආධාරයෙන් බැහැ රෝගියාට තියෙන අවදානම සම්පූර්ණයෙන්ම නැති කරන්න. අනතුරින් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙන්න නම්, සම්පූර්ණ සුවය ලබන්න නම් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. හොඳට මතක තියාගන්න ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ වෛද්‍යවරයෙක් නෙමෙයි. ප්‍රථමාධාර කියල කියන්නෙ වෛද්‍යාධාර වෙනුවට කරන දෙයක් නෙමෙයි. රෝගියාට වෛද්‍යාධාර අත්‍යවශ්‍යයි. නමුත් අනතුරක් වෙන හැම තැනම, රෝගයක් ඇතිවෙන හැම තැනකම වෛද්‍යවරු නැහැනෙ. අන්න ඒ නිසා තමයි ප්‍රථමාධාර මෙච්චර වැදගත් වෙන්නෙ. රෝගියා වෛද්‍යවරයා ළඟට අරන් යනකම්, රෝගියාගේ ජීවිතය සුරක්ෂිත කරන්නෙ අපි මේ ලබාදෙන තාවකාලික ආධාරය. පැහැදිලියි නේද? 

දැන් ඔයාලට හිතෙනවා ඇති ප්‍රථමාධාරකරුවෙක් කරන්නෙත් ලේසි පාසු රාජකාරියක් නෙමෙයි කියලා. ඇත්තටම ඔව්. හදිසි අනතුරකට හෝ රෝගී අවස්ථාවකට පත්වුණු කෙනෙක්ව ඉස්සෙල්ලාම දකින කෙනා තමයි ප්‍රථමාධාරකරු. මේ ප්‍රථමාධාරකරු කරන කියන දේවල් මත තමයි වෛද්‍යවරයාට රෝගියාව සුව කරන එක ලේසි කරනවාද අමාරු කරනවාද කියන එක තීරණය වෙන්නෙ. ඒ නිසා ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ මේ කරන්නෙ ලොකු පිනක් වගේම සමාජ වගකීමක් කියන එකත් මතකයේ තියාගන්න.

එහෙනම් "ප්‍රථමාධාර යනු කුමක්ද?" කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන එක ඔන්න අහවර කරනවා. මොකුත් අපැහැදිලි තැනක්, ගැටළු සහගත තැනක් තියේනම් පල්ලෙහායින් කමෙන්ට් කරන්නකෝ. ඒ වගේම අපේ මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස් දැනගන්නත් අපි හරි කැමැත්තෙන් ඉන්නවා. 

ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නෙ "ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකුගේ ගුණාංග" ගැන. එහෙනම් හමු වෙමු තවත් දවසක. එතෙක් ඔබට ජය හා සතුට ! 

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support