රෝගී කළමනාකරණ පටිපාටිය

ආයුබෝවන් ! කොහොමද ඔයාලට? හැමෝම සතුටින් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. කලින් ලිපියෙදි අපි කතා කළේ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යයභාරය පිළිබඳව. ඒ ලිපියත් සමගින් අපි ප්‍රථමාධාරයේ මූලධර්ම කියන පාඩම නිමා කරල, දැන් අවතීර්ණ වෙන්නෙ රෝගී කළමනාකරණ පටිපාටිය පිළිබඳව කතා කරන්න. මේ පාඩමේදි තමයි කෘතිම ස්වසනය, ආරක්ෂිත ඉරියව්ව වගේ කොටස් ගැන කතා කරන්නෙ. ඒ වගේම මේ රෝගී කළමනාකරණ පටිපාටිය ඔස්සේ තමයි අපි රෝගියාගේ තත්ත්වය පිළිබඳව නිගමනයකට ඇවිත් ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳව තීරණය කරන්නෙ. ඇත්තම කිව්වොත් මේව ඉතින් ප්‍රථමාධාරයේ ගල් පැලෙන සිද්ධාන්ත. නමුත් තර්කානුකූලව අවබෝධ කරගත්තම හරිම රසවත් පාඩම්.

රෝගියෙක්ව දැකපු ගමන් එයාට තියෙන රෝගය හෝ ආබාධය ගැන කියන්න අපිට දිවැස් නැහැනෙ. ඒ නිසා ක්‍රමවත් ක්‍රියා පිළිවෙලකින් පසුව තමයි රෝගියාගේ තත්ත්වය කුමක්ද, රෝගය කුමක්ද, ලබා දිය යුතු ප්‍රථමාධාර මොනවාද කියන දේවල් තීරණය කරන්නෙ. අන්න ඒ ක්‍රමවත් ක්‍රියා පිළිවෙල අපි හඳුන්වනවා "රෝගී කළමනාකරණ පටිපාටිය" කියලා. රෝගියෙකු කළමනාකරණය කිරීමේ පිළිවෙළ අපිට ප්‍රධාන අදියර හතරක් යටතේ දක්වන්න පුළුවන්.  

  1. මූලික විනිශ්චය  -  Primary Survey
  2. ද්විතියික විනිශ්චය  - Secondary Survey
  3. ප්‍රථමාධාර  -  First Aid
  4. ප්‍රවාහනය සහ පශ්චාත් සංරක්ෂණය  -  Transportation & After Care 

බලන්නකෝ මේ රූප සටහන දිහා. වචන ගැන බය වෙන්න එපා. ඒව අපි වෙන වෙනම පැහැදිලි කරන්නම්. දැනට රූප සටහනේ තියෙන දේවල් ගැන පොඩි අවබෝධයක් ගන්නකෝ.
  


මේ රූප සටහන අනුව අපට ප්‍රධාන රෝගීන් කාණ්ඩ දෙකක් පහසුවෙන් ම වෙන් කර හඳුනා ගන්න පුළුවන්. කිසි හැල හොල්මනක් නැතිව නිශ්චලව වැටී සිටින රෝගීන් සහ ප්‍රතිචාර දක්වන රෝගීන්. බුදු අම්මෝ.. මාව බේරගනියෝ කියල කෑ ගහ ගහ ඉන්න රෝගීන් අයිති වෙන්නෙ ප්‍රතිචාර දක්වන රෝගීන්ගෙ ගොඩට. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව, ඔය කාණ්ඩ දෙක අතරින් අපේ අවධානය ඉස්සෙල්ලාම යොමු වෙන්න ඕනෙ කා වෙත ද? නිශ්චලව වැටී සිටින රෝගීන් වෙත. මොකද එයාල බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව නතර වෙලා වෙන්න පුළුවන්. සමහර විට ස්වසනය සහ හෘද ස්පන්දනය නතර වෙලා වෙන්නත් පුළුවන්. ඒ නිසා වහාම අපි ඒ රෝගීන්ගේ මූලික විනිශ්චය සිදු කරන්න ඕනෙ. මූලික විනිශ්චය කියල කියන්නෙ යම් රෝගියෙක් බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවද නැද්ද, ස්වසනය කරනවද නැද්ද, හෘද ස්පන්දනය සිදු වෙනවද නැද්ද කියල හොයල බලන පොඩි පරීක්ෂණයක්. ( කරන විදිහ ඊළඟ පාඩමේදි කතා කරමු ). 




මේ මූලික විනිශ්චය කියන පරික්ෂාව අවසානයේදි අපිට ලැබෙන්නෙ ප්‍රතිඵල දෙකයි. එකක් තමයි රෝගියා හුස්ම ගන්නවා. අනික තමයි රෝගියා හුස්ම ගන්නෙ නෑ. රෝගියා හුස්ම ගන්නවා නම් පරීක්ෂණය සමත්, හුස්ම ගන්නෙ නැත්තන් පරීක්ෂණය අසමත්. මූලික විනිශ්චය අසමත් නම්, වහාම මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය අරඹන්න ඕනෙ. මූලික විනිශ්චය අසමත් කියල කියන්නෙ රෝගියා හුස්ම ගන්නෙ නෑ සහ හෘදය වැඩ කරන්නෙ නෑ කියන එකනේ? එහෙනම් මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල කියන්නෙ මොකක්ද කියල ඔයාලට ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ. මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල කියන්නෙ සරලවම කිව්වොත් හුස්ම ගන්නෙ නැති රෝගියාට බාහිරින් කෘතිමව හුස්ම දෙන එක සහ කෘතීමව හදවත වැඩ කරවන එක. මේ වචන වලට බය වෙන්න එපා. දැනට මූලික විනිශ්චය කියල මොකක්දෝ එකකුයි, මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල තවත් මොකක්දෝ එකකුයි තියෙනවා කියල විතරක් මතක තියාගන්න, ඊළඟ ලිපි වලදි අපි ඔය හැම එකක් ගැනම විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ තාක්ෂණික වචන පාවිච්චි නොකර ලිපි ලිව්වොත් ඔයාලටමයි ඒකෙන් පාඩු. අපි මේ හුඟක් යෙදුම් වල ඉංග්‍රීසි තේරුම එහෙමත් දෙන්නෙ, ආසාව උනන්දුව තියෙන අයට වැඩිදුර කරුණු අධ්‍යයනය කරන්න පහසු වෙන්න. ඒ නිසා පුළුවන් තරම් මේ වචන ග්‍රහණය කරගන්න උත්සාහ ගන්න. 

හොඳයි ආයෙත් එමු පාඩමට. නිශ්චලව වැටී සිටින රෝගියාගේ මූලික විනිශ්චය සමත් නම් අපිට පුළුවන් ද්විතියික විනිශ්චයට එළඹෙන්න. ඇත්තටම මේ ද්විතියික විනිශ්චයේදි කරන්නෙ රෝග විනිශ්චය සිදු කරන එක. සරලවම කිව්වොත් ලෙඩාට මොකද වෙලා තියෙන්නෙ කියල තීරණය කරන එක. හැබැයි රෝගියාගේ මූලික විනිශ්චය අසමත් නම්, අපිට සිද්ධ වෙනවා අර මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය සිදු කරමින් රෝගියා වහාම රෝහල් ගත කරන්න. අපිට හමු වෙලා තියෙන්නෙ ප්‍රතිචාර දක්වන රෝගියෙක් නම්, අමුතුවෙන් ආයෙ මූලික විනිශ්චයක් කරන්න ඕන නෑනෙ. ඒක නිකන්ම පාස්. එහෙනම් අපිට පුළුවන් එයාට කෙලින්ම ද්විතියික විනිශ්චය, එහෙමත් නැත්තන් රෝග විනිශ්චය සිදු කරන්න. පැහැදිලියි නේද?

ද්විතියික විනිශ්චයේදී රෝගය මොකක්ද කියල හඳුනා ගත්තට පස්සෙ අපිට පුළුවන් ඒ එක් එක් රෝගය සඳහා නිර්දේශිත ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරමින්, රෝගියාව වෛද්‍යාධාර කරා යොමු කරවන්න. ඒක තමයි ඔතන ඔය ප්‍රවාහනය සහ පශ්චාත් සංරක්ෂණය කියල සඳහන් වෙන්නෙ. ඇත්ත වශයෙන්ම ප්‍රථමාධාරයේ සියළු සෙල්ලම් ටික තියෙන්නෙ මෙන්න මේ අදියර හතර ඇතුලෙ. මතකයි නේද අපි ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ලිපියෙදි සඳහන් කළා, රෝගියා වෛද්‍යවරයා වෙත පැමිණවූ පසු ප්‍රථමාධාරකරුගේ රාජකාරිය අවසන් වේ කියල? ඒ නිසා ප්‍රථමාධාර සංකල්ප සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ, මෙන්න මේ අදියර හතර ඇතුළෙ. මූලික විනිශ්චය කරන ක්‍රමවේදයක් තියෙනවා. ද්විතියික විනිශ්චය මගින් රෝග විනිශ්චය සිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. හඳුනා ගත්ත රෝගයට ප්‍රථමාධාර ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ක්ලාන්තය නම් ක්ලාන්තයට ප්‍රථමාධාර, අස්ථි බිඳුමක් නම් ඊට අදාල ප්‍රථමාධාර, පිච්චිලා නම් ඊට අදාල ප්‍රථමාධාර ආදී වශයෙන්. 

එක් එක් රෝගය අනුව එක් එක් රෝගියා ප්‍රවාහනය කළ යුතු ක්‍රම තියෙනවා. කකුල කැඩිච්ච කෙනෙක් ගෙනියන විදිහට නෙමෙයි ඇදුම රෝගියෙක් රෝහලට ප්‍රවාහනය කරන්නෙ. ඇදුම රෝගියාව ගෙනියපු විදිහට නෙමෙයි වහ බීපු කෙනෙක්ව ගෙනියන්නෙ. එක් එක් රෝගී තත්ත්වය අනුව රෝගීන් ප්‍රවාහනය කළ යුතු ක්‍රමයත් වෙනස් වෙනවා. අන්න නැවතත් ප්‍රථමාධාර සංකල්ප අපිට උදව් වෙනවා. ප්‍රවාහනය කරන්නෙ ඉතින් රෝහලටනේ. ලෙඩාව රෝහලට භාර දුන්නැයින් පස්සෙ අපේ රාජකාරිය අහවර වෙනවා. පැහැදිලියි නේද? ඔන්න ඕකයි රෝගී කළමනාකරණ පටිපාටිය කියන්නෙ. ප්‍රථමාධාරකරුවෙකු විසින් ඕනෑම අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ ඔන්න ඔය ආකාරයටයි. 

මුලක් මැදක් අගක් හොයාගන්න බැරුව වගේ හිටපු පාර දැන් ටික ටික පැහැදිලි වෙනවා නේද? ඇත්තටම කිව්වොත් මූලික විනිශ්චය සහ ද්විතියික විනිශ්චය කියන පාඩම් දෙක හොඳ අවධානයෙන් ඔළුවට දාගත්තොත් ඉදිරියේදි විවිධ රෝග සහ අනතුරු වලදී ප්‍රථමාධාර කළ යුතු ආකාරය පිළිබඳව කතා කරන කොට ඔයාලට බොහොම ලේසියෙන් ඒ කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් වේවි. 

හොඳයි එහෙනම් අදට සමුගන්නයි කල්පනාව. ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නෙ "මූලික විනිශ්චය" පිළිබඳව. අද ඉඳන් ඉස්සරහට එන ලිපි ඉතින් පළ කරන්න ටිකක් කාලය ගත වෙයි. මොකද දැන් අපි ප්‍රථමාධාරයේ ඉතාමත් වැදගත් කරුණු පිළිබඳව කතා කරන්න පටන් ගන්නවා. ඔබට නිවැරදිම දැනුම, හරියටම අපේ ලිපි පෙළ හරහා ලබා දෙන්න ඕනෙ නිසා අපි මේ හැම ලිපියක්ම අපේ උපදේශක මඩුල්ල වෙත යවල, සාකච්ඡා කරල, ලුණු ඇඹුල් එකතු කරල තමයි පළ කරන්නෙ. ඒ නිසා ඒකට යම් කාලයක් ගත වෙනවා. එතෙක් ඔයාලගෙ අදහස්, යෝජනා චෝදනා තියෙනව නම් පල්ලෙහායින් කොමෙන්ට් කරන්න. ඒ වගේම මේ කතා කරපු ඕනෑම දෙයක් ගැන ගැටළුවක් තියෙනවා නම්, ඒ ගැන අහන්න දෙපාරක් හිතන්න එපා.

ගිහින් එන්නම් එහෙනම්. සතුටින් ඉන්න !



Comments

Popular posts from this blog

ප්‍රථමාධාර යනු කුමක්ද?

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support