කම්පනය - Shock

ආයුබෝවන් හැමෝටම! කට්ටියම සැපෙන් සහ සුවෙන් ඇති කියල විශ්වාස කරනවා. මේ දිග හැරෙන්නේ " First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ පහලොස්වැනි ලිපිය. පසුගිය ලිපියෙන් අපි කතා කලේ තුවාල සහ රුධිර වහන කළමනාකරණය පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, ඉහත ලිපියෙදි අපිට හමුවුණු එක් වැදගත් අවස්ථාවක්, එනම් "කම්පනය - Shock" කියන රෝගී අවස්ථාව ගැන.

මොළයට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය අපි "කම්පනය" ලෙස හඳුන්වනවා. මෙය ඉතාම බරපතල, මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයක්. රෝගියෙකුට කම්පන තත්ත්වයක් ඇති වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් බලපාන්න පුළුවන්.

1. හෘදයට රුධිරය පොම්ප කළ නොහැකි වීම.
2. සංසරණය කරවීමට තරම් රුධිරය සිරුර තුළ නොමැති වීම.

හේතුව කුමක් වුවත් කම්පන තත්ත්වයකට අවසාන සාධකය වෙන්නෙ ඉහත ක්‍රියාවලි දෙකෙන් එකකට හෝ බාධා වෙන එක. එතකොට අධික රුධිර වහන තත්ත්වයකදී සිදු වෙන්නෙ සිරුරෙන් රුධිරය අධිකව ඉවත් වීම නිසා, සංසරණය කරවීමට තරම් ප්‍රමාණවත් රුධිරය සිරුරේ නොමැති වීම. මොළයට රුධිරය සැපයීම නිසි පරිදි සිදු නොවුනොත් මොළයේ සෛල මිය යන්න පටන් ගන්නවා. එය ඉතාම බරපතල තත්ත්වයක්. ඒ නිසා කම්පන අවස්ථාවක් වහාම හඳුනාගෙන ඊට ප්‍රථමාධාර කරමින් රෝගියා හැකි ඉක්මනින් රෝහල්ගත කිරීම වැදගත්. කම්පන අවස්ථාවකට පත්වෙන රෝගියෙක්ව හඳුනගන්න පුළුවන් පහත ලක්ෂණ වලින්. 

  • වේගවත්, සිහින් නාඩි
  • සුදුමැලි, සිසිල්, ඇලෙනසුළු සම
  • අධිකව දහඩිය දැමීම

කම්පන තත්ත්වය වර්ධනය වීමේදී,

  • වේගවත්, එහෙත් නොගැඹුරු ස්වසනය
  • වේගවත්, සිහින් නාඩි
  • අළු - නිල් පැහැ සම, විශේෂයෙන්ම තොල් වල
  • දුර්වල ගතිය සහ කරකැවිල්ල
  • ඔක්කාරය සහ වමනය
  • දැඩි පිපාසය
  • ශරීර උෂ්ණත්වයේ වේගවත් පහල යාම
මොළයට රුධිර සැපයුම දුර්වල වීමේදී,

  • අසහනකාරී සහ කලහකාරී හැසිරීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • අසිහි තත්ත්වයට පත් වීම
මුල් රෝග ලක්ෂණ පහළවීමේදීම නිසි ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කළොත් අපිට රෝගියාගේ ජීවිතය බේරගන්න පුළුවන්. කම්පනය ගැන වැඩිදුරටත් දැනගන්න, දැනුම් පිපාසාවෙන් ඉන්න අයටයි මේ විඩීයෝ එක. ටිකක් සංකීර්ණ වුණත්, ඉතාම සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කෙරෙන විඩියෝ එකක් මේ.





කම්පනය සඳහා ප්‍රථමාධාර



  • කම්පනයට බලපා ඇති හේතුව (අධික රුධිර වහනය, බරපතල පිළිස්සුම් වැනි ) සඳහා ප්‍රථමාධාර කරන්න. තවදුරටත් හානි සිදුවීම වළක්වන්න.
  • රෝගියා හාන්සි කරවන්න. කම්පන රෝගියෙකුගේ ශරීර උෂ්ණත්වය ඉතා වේගයෙන් පහළ බසින අතර එය වළක්වමින් ප්‍රශස්ත ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා, බ්ලැන්කෙට්ටුවක් හෝ ඇතිරිල්ලක් මත රෝගියා හාන්සි කර, තවත් ඇතිරිල්ලකින් හෝ බ්ලැන්කෙට්ටුවකින් රෝගියාව හොඳින් ආවරණය කරන්න. අත්‍යාවශ්‍ය අවයව වලට රුධිරය සැපයීම වැඩි කිරීම සඳහා රෝගියාගේ පාද, හෘදයට වඩා ඉහළින් සිටින සේ ඔසවා තබන්න. 



  • උදව් ලබා ගන්න. රෝගියා වහාම රෝහල්ගත කිරීම සඳහා කටයුතු සූදානම් කරන්න. ඔබ අමතන්නේ ගිලන් රථ සේවාවකට නම්, උපකාර අවශ්‍ය වන්නේ කම්පන රෝගියෙකුට බව දැනුම් දෙන්න.
  • ස්වසන ක්‍රියාවලිය පහසු කරවීම සඳහා බෙල්ල, පපුව, උදරය යන ස්ථානවල තද ඇඳුම් ලිහිල් කරන්න.
  • රෝගියාට වෛද්‍ය ආධාර ලැබෙන තුරු රෝගියාගේ මූලික ජෛව සාධක පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්න. අවශ්‍ය වුවහොත් CPR ක්‍රියාත්මක කරන්න. 

ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කම්පනය කියන්නෙ කොයිතරම් බරපතල තත්ත්වයක්ද කියල. තවමත් ඒ ගැන අවබෝධයක් නැත්නම් පල්ලෙහා තියෙන සටහන බලන්න.



දැන් පේනවා නේද අපි මේ සරලව සාකච්ඡා කළාට කම්පනය කියන්නෙ කොයිතරම් දරුණු තත්ත්වයක්ද කියලා? කොයිතරම් බරපතල තත්ත්වයක් වුණත් අපි මේ සාකච්ඡා කරපු ප්‍රථමාධාර ක්‍රම ටික නිවැරදිව අනුගමනය කරන්න ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් ඒ රෝගියාගේ ජීවිතය බේරා ගන්න. එහෙනම් කම්පනය පිළිබඳව පාඩම නිමා කරමින් අදට සමුගන්නයි මේ සූදානම. ගැටළු වගේම ඔබේ අදහස් වලටත් පහළ කොමෙන්ට් තීරුව ඔබ වෙනුවෙන් විවෘතයි. ඊළඟ ලිපියත් සමග අපි එදිනෙදා ජීවිතයේ අපිට දකින්නට ලැබෙන රෝගී අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ඊළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ "ක්ලාන්තය" පිළිබඳව. එතෙක් ඔබට ජය, සතුට සහ නිරෝගී සුව !

Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?