මොකද්ද මේ "නව කොරොනා" වයිරසය කියන්නෙ?




මේ දවස්වල අන්තර්ජාලයේ වගේම අසන දකින බොහෝ තැන්වල කතාවෙන මාතෘකාවක් තමයි "නව කොරොනා" කියල කියන්නෙ. ඉතාම කෙටි කාලයක් තුල මුළු ලෝකයේම අවධානය ඩැහැගන්නත්, භීතියට පත්කරන්නත් මේ මාතෘකාවට හැකිවෙලා තියෙනවා. මේ කතාබහ වෙන්වන්නේ, "නව කොරොනා" වයිරසය ගැන ඔබට යම් අවබෝධයක් ලබා දීමටයි. 

මොකද්ද මේ "නව කොරොනා" වයිරසය කියන්නෙ?

2019 වසරේ දෙසැම්බර් මස 31 වන දින චීනයේ වුහාන් නගරයේ හඳුනානොගත් ස්වසන රෝගී තත්ත්වයක් පැතිරයන බවට වාර්තා වුණා. 2020 ජනවාරි 09 වන දින මෙම වයිරසය "කොරොනා" වයිරසයක් බවට හඳුනාගනු ලැබූ අතර එය මින් පෙර වසංගත ලෙස පැතිරගිය MERS-CoV (Middle East Respiratory Syndrome) සහ SARS - Severe Acute Respiratory Syndrome (සාර්ස්) රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් බවටද හඳුනාගනු ලැබුවා. කොරොනා වෛරසය කියන්නෙ ප්‍රධාන වශයෙන්ම ක්ෂීරපායීන් සහ පක්ෂීන් අතර රෝග ඇතිකළ හැකි වෛරස කාණ්ඩයක්. මුලින්ම මෙම රෝගය වාර්තාවූයේ සත්ව වෙළෙඳපොලක් ආශ්‍රිතව නිසා සතුන්ගෙන් පමණක් බෝවන රෝගයක් ලෙස සැලකුවද, රෝගය ව්‍යාප්තවීමට තුඩුදුන් චීනයේ වුහාන් ප්‍රදේශයට මෑතකදී සංචාරය නොකළ, වියට්නාමයේ ජීවත්වන චීන ජාතිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතිබවට සොයාගැනීමත් සමගම මෙම කොරොනා වෛරසය මිනිසුන් හරහාද සම්ප්‍රේෂණය වන බවට තහවුරු වුණා.

ආසාදනය වීමෙන් පසු ස්වසන පද්ධතියේ සාමාන්‍ය මෙන්ම ප්‍රබල සංකූලතා ඇතිකළ හැකි වෛරසයක් තමයි කොරොනා කියල කියන්නෙ. තවමත්, මේ වෛරසය ආසාදනය වෙන්නෙ කොහොමද කියන එක වගේම, ඒ සඳහා නිසි ප්‍රතිකාරයකුත් සොයාගෙන නැහැ. දැනට විශ්වාස කරන්නෙ, මෙය වෛරස් ආසාදනයක් නිසා රෝගියාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ඇතිවීම තුළින්ම රෝගය සුවවෙන බවයි. ඒ වගේම, වෛරසය ආසාදනය වූ කාන්තාවක් ඉන් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව දැනගන්නට ලැබීමත් සතුටට කරුණක්.

චීනයේ වුහාන් නගරයෙන් හඳුනාගත්තද, නව කොරොනා වෛරසය මේ වනවිට ලොව පුරා පැතිර යා හැකි තත්ත්වයක් බවට නිර්මාණය වෙමින් පවතින්නේ ජනවාරි මස 25 වන දින නිකුත් වූ නවතම දත්ත අනුව ලෝකයේ රටවල් 09කින් රෝගීන් 1320ක් වාර්තාවීමත් සමගයි. මෙම රෝගීන් 1320 න් 1297ක් ම වාර්තාවී ඇත්තේ චීනයෙන් වන අතර ඉන් රෝගීන් 237ක් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තාවන්නේ. මේ වනවිට කොරොනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් 41 දෙනෙකු මියගොස් තිබෙනවා. චීනයට අමතරව දැනට මේ රටවල්වලින් කොරොනා වෛරසය ආසාදිත රෝගීන් හමුවෙලා තියෙනවා.

ජපානය
දකුණු කොරියාව
වියට්නාමය
සිංගප්පූරුව
ඕස්ට්‍රේලියාව
තායිලන්තය
නේපාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
ප්‍රංශය

ඇත්තටම අපිට අවදානමක් තියෙනවද?

නැහැ කියන්න හැකියාවක් නෑ. මොකද ශ්‍රී ලංකාව කියන්නෙ චීනය සමග සමීප සබඳතා තියෙන රටක්. වසරකට ඉතා විශාල සංචාරකයින් ප්‍රමාණයක් චීනයේ සිට අපේ රටට එනවා. ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාව තම ව්‍යාපාරික කටයුතු සඳහා නිතර යන එන රටක් තමයි චීනය. ඊට අමතරව සැලකිය යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිය වෘත්තීමය කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා චීනයේ රැඳී සිටිනවා. ඒ වගේම චීන ශ්‍රමිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කරනවා. මේ තොරතුරු බැලුවාම, මිනිසුන් හරහාද සම්ප්‍රේෂණය විය හැකි රෝගයක්නම්, මේ රෝගය අපේ රටට ඇතුළුවෙන්නෙ නෑමයි කියන්න බැහැනෙ නේද?

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා අනුව මෙම කොරොනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතය 3% ක් පමණ අගයයක තමයි තියෙන්නෙ. මීට පෙර SARS සහ MERS වෛරස වල තත්ත්වය මීට වඩා ඉතාම දරුණු වුණා. MERS ආසාදනය වූ අයගෙන් 30% පමණ මරණයට පත්වුණා වගේම SARS  වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් 10%ක් මරණයට පත්වුණා. ඒ වගේම, අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනයේ ආපදා කාණ්ඩ 4 අනුව, මේ කොරොනා වෛරස අවස්ථාව පවතින්නේ Orange කාණ්ඩයේ. ඒ කියන්නෙ, සාමාන්‍ය ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිකළහැකි වුවත්, ඉතාම දරුණු ගණයේ නොවන තත්ත්වයක් බව. එම නිසා දැනට ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් මේ කොරොනා වෛරස් තත්ත්වය ගෝලීය සෞඛ්‍යයමය හදිසි අවස්ථාවක් - Public Health Emergency in International Concern ලෙස නම්කර නැහැ.

ඒ වගේම 2020 ජනවාරි මස 24 වන දින වනවිට වාර්තාවී ඇති මරණ 25න් 24කගේම මෙම කොරොනා වෛරසයට අමතරව කලක පටන් වෙනත් රෝග තත්ත්ව වලින් පෙළුණු වයස අවුරුදු 48ට වැඩි අය. ඒ නිසා මේ කොරොනා රෝගී තත්ත්වය තරුණ සහ වෙනත් කල්පවතින රෝග නොමැති අයට දැඩි බලපෑමක් ඇති නොකරන බවත් නිගමනය කරන්න පුළුවන්.

ඒ නිසා ඇතැම් මාධ්‍යවල සහ වගකීමක් නොමැති සමාජ මාධ්‍ය පිටුවලින් හුවාදක්වන තරම් බරපතල තත්ත්වයක් දැනට නැති බව කියන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි කලින් සඳහන් කරපු කරුණු කාරණා නිසා සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත රටවල් කිහිපයකම කොරොනා වෛරසය ආසාදිත රෝගීන් හමුවෙලා තියෙන නිසා, අපේ රටටත් රෝගය ඇතුළුවීමේ අවදානමක් තියෙනවා ඉතින්. නමුත් මේ වනවිටත් අදාල අංශ ඒ වෙනුවෙන් සෑහෙන ආරක්ෂාකාරි පියවර අරගෙනයි තියෙන්නෙ. කොහොම උනත් අපි කොයි කවුරුත් තමන්ගේ ආරක්ෂාව සලසගන්න එක වැදගත්.

කොරොනා වයිරසය ආසාදනය විය හැකි ආකාර

  • කැස්ස හෝ කිවිසුම් යාම මගින් වාතය හරහා.
  • රෝගියෙකු සමග සමීපව ගණුදෙනු කිරීම. උදා: ස්පර්ශ කිරීම, අතට අත දීම වැනි.
  • වෛරසය සහිත ද්‍රව්‍යය හෝ මතුපිටක්, වස්තුවක් ස්පර්ශ කිරීමෙන් අනතුරුව දෑත් පිරිසිදු කිරීමෙන් තොරව මුඛය, නාසය, ඇස් ආදිය ස්පර්ශ කිරීම.
  • කලාතුරකින්, මළ පහ හරහා

රෝග ලක්ෂණ

  • නාසයේ බර ගතිය.
  • උගුරේ අමාරුව.
  • ස්වසන අපහසුව.
  • හිසරදය.
  • උණ ගතිය.
  • කැස්ස.
  • ශරීරයට අපහසු ගතියක් දැනීම.

කොරොනා වයිරසය පැතිරීම වළක්වාගත හැකි ක්‍රම

  • උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණ පුද්ගලයින් සමීපව ඇසුරු කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ඇල්ලීමෙන් වළකින්න.
  • කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ භාවිතා කරන්න. භාවිතා කරන ලද ටිෂූ නිසි පරිදි බැහැර කරන්න. 
  • ලේන්සුවක් හෝ ටිෂූ නොමැතිනම් කැස්ස හෝ කිවිසුම් යාමේදි වැළමිට හෝ අතේ ඉහල කොටසෙන් මුඛය ආවරණය කරගන්න. කිසිවිටෙකත් අත්ල භාවිතා නොකරන්න.
  • අත් සේදීමේදි සබන් හෝ ඇල්කොහොල් ආශ්‍රිත විශබීජ නාශක භාවිතා කරන්න.
  • මස් සහ බිත්තර හොඳින් පිස ගැනීමෙන් පසුව පමණක් ආහාරයට ගන්න. 
  • සත්ව ගොවිපල ආශ්‍රිත රැකියාවන්හි නිරතවන අය අත් ආවරණ, මුහුණු ආවරණ පැළද සිය කටයුතුවල නිරත වන්න.

දැනට නිකුත්වෙලා තියෙන දත්ත සැලකුවම පුද්ගලයින් 41ක් මේ කොරොනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වෙලා තිබුණත්, අපි අනියත බියක් ඇතිකරගතයුතු නැති බවයි අපේ විශ්වාසය. නමුත් දැනට සොයාගෙන තියෙන විදිහට මේ කොරොනා වෛරසයේ බීජෞෂණ සමය දින 02 සිට 14 දක්වා කාලයකට විහිදෙන්න පුළුවන්. ඒ කියන්නෙ, වෛරසය ශරීරගතවෙලා දින 14ක් පමණ කාලයක් ගතවුණත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්න ඉඩ තියෙනවා. ඒ නිසා  රෝගය පැතිරයාම වැලැක්වීම සඳහා පනවා ඇති ආරක්ෂක විධිවිධාන අනුගමනය කිරීම ඉතා වැදගත්. එමගින් අපිට පුළුවන් යම් හෙයකින් වෛරසය අපේ රටට ඇතුළුවුවත්, එය පැතිර යා නොදී පාලනය කරගන්න. මෙවන් වසංගත රෝග තත්ත්ව පාලනයේදී මහජනතාවගේ නිවැරදි දැනුවත්භාවය සහ සහයෝගය ඉතාම වැදගත් වෙනවා. 

මෙම රෝගය සම්බන්ධව අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය මගින් නිකුත් කර ඇති තොරතුරු වෙත ඔබට පහත සබැඳියෙන් යන්න පුළුවන්.


රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව නවතම තොරතුරු ඔබට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියේ පහත සබැඳියෙන් ලබා ගන්න පුළුවන්.












Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?